නේපාලයේ දේශපාලන අනාථයන්ට 'පොලිසිය පහර දුන්නා'

එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන්ට ලබා දෙන දීමනාව කපා හැරීමේ උත්සාහයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදී සිටි අනාථයන්ට පොලිසිය පහර දුන් බව නේපාලයේ රැකවරණ පතා සිටින දේශපාලන අනාථයෝ පවසති.

ශ්‍රී ලාංකික අනාථයන් තිදෙනකුද පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ බවයි, නේපාලයේ දේශපාලන රැකවරණ ලබා සිටින සුරේෂ් කුමාර ඩයස් බීබීසී සංදේශයට කියා සිටියේ.

දින දහසයක් මුළුල්ලේ අනාථයන් පිරිස කත්මන්ඩු අගනුවර පිහිටි අනාථයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ මෙම උදඝෝෂණයේ යෙදී සිටි අතර, ඔවුන්ගෙන් තිදෙනකු අඟහරුවාදා කාර්යාලයේ ප්‍රධාන දොරටුව අවහිර කළ අවස්ථාවේයි පහරදීම සිදු වී තිබෙන්නේ.

"ඒකෙන් ශ්‍රී ලාංකිකයෝ දෙන්නෙක්ට තුවාල වෙලා තියෙනව," ඔහු පැවසීය.

අඟහරුවාදා රාත්‍රියේ ඔවුන් රෝහල්ගත කළ නමුත් මුදල් නොමැතිවීම හේතුවෙන් වහාම රෝහලෙන් පිටවීමට සිදු වූ බවත් සුරේෂ් කුමාර ඩයස් පැවසීය.

"අපි UNHCR එකේ නිලධාරික් ඉන්නවා රෝහල සම්බන්ධව ඒ නිලධාරියාටත් කතා කළා. ඒ නිලධාරියා කිවුව අපිට හදිසියේ මේ වෙලාවේ ප්‍රතිකාර දෙන්න බැහැ කියල. ඒ ගමන ගෙදර ගිහිල්ල අද උදේ තමයි ඔවුන් ප්‍රතිකාර ලබාගත්තේ."

ශ්‍රී ලාංකිකයන්, පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය, මියන්මාරය, සෝමාලියාව, ඉරාකය සහ ඉරානය ඇතුළු රටවල් එකොළහකින් පැමිණි දෙසියයකට ආසන්න පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටින බවත් ඔහු පැවසීය.

මෙතෙක් ලබාදුන් මසකට නේපාල රුපියල් 5700 ක දීමනාව කප්පාදු කිරීමේ සැලසුමට සහ තමන් පිරිස වෙනත් රටකට වෙනත් රටක පදිංචි කළ නොහැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන ප්‍රකාශයට එරෙහිවයි අනාථයන් පිරිස උද්ඝෝෂණයේ නිරතව සිටින්නේ.

පොලිස් පහරදීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ කර නැති අතර, කත්මන්ඩු නුවර පිහිටි අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රතිචාරය විමසීමට බීබීසී සංදේශය දැරූ උත්සාහයද සාර්ථක නොවීය.

කෙසේ නමුත් සිය කාර්යාලයේ ගේට්ටුව අවහිර කළ බැවින් පොලිසිය කැඳවූ බව එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් උද්ඝෝෂකයන් හමුවේ පවසන ආකාරය වීඩියෝ පටයක සටහන්ව තිබේ.

පොලිස් පහරදීම නොතකා උද්ඝෝෂණය දිගටම පැවැත්වෙන බවත් සුරේෂ් කුමාර පැවසීය.

විසිපහකට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද නේපාලයේ දේශපාලන රැකවරණ ලබා සිටින අතර සුරේෂ් කුමාර පවසන පරිදි ඔවුන් සියලු දෙනාම සිංහල ජාතිකයන්.

සිය පසුබිම පිළිබඳව අපූරු පුවතක්ද සුරේෂ් කුමාර ඩයස් සංදේශයට හෙළි කළේය.

"මගේ අම්මත් ටැමිල්, තාත්තත් ටැමිල් හැබැයි මට දෙමළ බැහැ. මම හැදුනේ වැඩුනේ අම්මත් එක්ක," ඔහු පැවසීය.

"මගේ නම සින්නතම්බි සුරේෂ් කුමාර්. දැනට අවුරුදු විස්සකට විතර කලින් මම නම වෙනස් කළා මොකද මට ජීවිතේට තර්ජන තිබුණ නිසා."