ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා - ජනාධිපති

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැප වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහය ඉදිරියේ ප්‍රතිඥා දෙයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමාට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට කැප වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහය ඉදිරියේ ප්‍රතිඥා දෙයි.

අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රාර්ථනා කළ යහපාලනයක් ඇති රාජ්‍ය පාලනයක් රට තුළ ගොඩ නැගීමට කැප බව බවත් ජනාධිපතිවරයා ආදාහන පූජෝත්සවයේ දී ප්‍රකාශ කළේය.

අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ‘වෙනත් ගමනක් සහ වෙනත් චරිතයක්’තිබුනැයි සඳහන් කළ ජනාධිපතිවරයා එම ගමනේ පරමාර්ථය වූයේ සාධාරණ යුක්ති සහගත සමාජයක් බිහි කිරීම බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්විණ.

කෝට්ටේ පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාර නාහිමියෝ ආගමික වතාවත් සිදු කළහ.

ආදාහන පූජෝත්සවයේ දී අනුශාසනාවක් කල මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් හඳුන්වා දුන්නේ රජුන් තනන්නෙකු ලෙසයි.

“උන්වහන්සේ රට වෙනුවෙන් දැක්ක සිහිනයක් තිබුණ. අපි බලාපොරොත්තු වන්නේ සෝභිත හාමුදුරුවෝ ඒ තැබූ බලාපොරොත්තුව වර්තමාන ජනාධිපතිතුමාත් , අගමැතිතුමාත් ඇතුළු පාලක පක්ෂය විසින් ඉදිරි කාලය තුළ ඉටු කරනවා ඇතියි කියල. ඒක තමයි සෝභිත හාමුදුරුවන්ට දැක්විය හැකි ඉහලම ගෞරවය,” උන්වහන්සේ ප්‍රකාශ කළහ.

Image copyright bbc

අන්‍ය ආගමික නායකයෝද උන්වහන්සේගේ ජීවිතය සහ පැවැත්ම ගැන අදහස් දැක්වූහ.

රටේ ජනතාවට ජීවත් විය හැකි යහපත් සමාජ පරිසරයක් නිර්මාණය කිරීමටත් , නීතිය රජ කරවන්නටත් ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කිරීමටත්, ශ්‍රී ලංකාවාසී ජනතාව එකමුතු කිරීමටත් උන්වහන්සේ උත්සාහ ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ඒ නිසා සාධාරණ සමාජයක් තිබිය යුතු බව උන්වහන්සේ වටහා ගත බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

ත්‍රයිනිකායික මහා සංඝරත්නය , සර්ව ආගමික පූජකවරුන්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය යන මහත්ම මහත්මීන් සහ මැති ඇමතිවරුන්ද, විදේශ තානාපතිවරුන් ඇතුලූ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ දිවයිනේ නන් දෙසින් පැමිණි අතිවිශාල ජනතාවක් ආදාහන පූජෝත්සවයට එක්ව සිටියහ.