ආකාශ වස්තුව 'ඉහල අහසේදී ගිණි ගත්තා'

Image copyright Rahul Samantha Hettiarachchi
Image caption තංගල්ල නාවික මුහුදු තීරය තුල ආතර් සී කලාක් මධ්‍යස්ථානය මගින් නිරීක්ෂණ කඳවුරු මධ්‍යස්ථානයක් සකස් කර තිබුණි

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට සැතපුම් 62 ක් පමණ ඔබ්බෙන් පිහිටි සාගර කලාපය වෙත කඩා වැටීමට නියමිතව තිබූ ආකාශ වස්තුව දර්ශනය නොවූ නමුත් එය නිශ්චිත ගමන් මාර්ගයේ පැමිණ තිබෙන බව ආතර් සී ක්ලාක් පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

WT1109F ලෙසින් නම් කර තිබෙන මෙම ආකාශ වස්තුව සිකුරාදා පෙරවරු 11.59 ට පමණ පෘථිවි වායුගෝලය වෙත ඇතුළු වනු ඇතැයි නාසා ආයතනය ඇතුළු ආකාශ වස්තු පිළිබඳ විශේෂඥයෝ මීට ඉහතදී පැවසූහ.

WT1109F ආකාශ වස්තුව ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඇපොලෝ මෙහෙයුමක් සඳහා යොදා ගෙන පසුව අත්හැර දැමුණු රොකට්ටුවක කොටසක් බවයි, විශ්වාස කෙරෙන්නේ.

අඩි 07 ක් පමණ දිගින් යුත් ආකාශ වස්තුවේ සැබෑ ස්කන්ධය මෙතෙක් ගණනය කෙරී නැති අතර, එය වායුගෝලයට ඇතුළු වුණු මොහොතේදීම ගිණිගැනීමට ඉඩ තිබෙන බවද විද්‍යාඥයෝ මීට සති කිහිපයකට ඉහතදී පැවසූහ.

Image copyright Rahul Samantha Hettiarachchi
Image caption WT1109F ආකාශ වස්තුව ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඇපොලෝ මෙහෙයුමක් සඳහා යොදා ගෙන පසුව අත්හැර දැමුණු රොකට්ටුවක කොටසක් බව විශ්වාස කෙරේ

WT1109F ආකාශ වස්තුව කඩා වැටෙනු ඇතැයි සැක කෙරුණු දකුණු වෙරළ තීරයේ තංගල්ල නාවික මුහුදු තීරය තුල ආතර් සී කලාක් මධ්‍යස්ථානය මගින් නිරීක්ෂණ කඳවුරු මධ්‍යස්ථානයක් ද සකස් කර තිබුණි.

අවසානයේ WT1109F ආකාශ වස්තුව පියවි ඇසින් නිරීක්ෂණය කිරීමේ උත්සාහය අසාර්ථක වුවත්, වෙනම විශේෂ ගුවන් යානයකින් ආකාශ වස්තුව පෘතුවියට පැමිණීම නිරීක්ෂණය කර තිබෙන බවයි, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ චින්තන විජේවර්ධන පවසන්නේ.

"එහිදී වායු ගෝලයට ඇතුල් වී පිච්චුනාය කියන එක ඒ අය සනාථ කර තිබෙනවා. නමුත් තවම එය විද්‍යාත්මකව තහවුරු කරගැනීමට හැකිවුණේ නැහැ," ඔහු පැවසීය.

ආකාශ වස්තුවේ කඩා වැටීම පිළිබඳව අදහස් දැක්වූ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ: "නොයෙක් අකාරයේ පර්යේෂණ කටයුතු සදහා මිනිසා විසින් අභ්‍යාවකාශ කටයුතු සඳහා යම් යම් යානා අහසට යවනවා. ඒ යානාවල යම් යම් කොටස් අහසේදී විනාශ වෙනවා," යනුවෙන් පැවසීය.

Image copyright Rahul Samantha Hettiarachchi
Image caption 'ශ්‍රී ලංකාව මෙවැනි දේකට මුහුණ පාන පළමු අවස්ථාව නිසා පර්යේෂණ සිදුකරන කණ්ඩායම් සහ පාසල් දරුවන්ට මෙවැනි අවස්ථා වැදගත් වෙනවා ඔවුන්ගේ පර්යේන්ෂණ දැනුම වැඩිකර ගැනීම සඳහා'

මෙසේ පොලවට පතිත වූයේ එසේ විනාශ වූ කොටසක් බවයි ඔහු පවසන්නේ.

"ඒ පතිත වන කොටස් අප නම් කරන ප්‍රදේශයන්ට වැටුනොත් අපගේ ඒ ගණිතමය අනාවැකිවල සත්‍යතාවය තහවුරු වෙනවා. ඒක තමයි අපිට මේකේ තියෙන විද්‍යාත්මක වැදගත්කම," තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන පළමු අවස්ථාව මෙය වන බැවින්, තාරකා විද්‍යාව සම්බන්ධ පර්යේෂණ පවත්වන කණ්ඩායම් සහ පාසල් දරුවන්ට පවා සිය පර්යේෂණ දැනුම වැඩිකර ගැනීම පිණිස මෙය ඉතා වැදගත් සංසිද්ධියක් බවත් ඔහු සඳහන් කළේය.