උතුරු නැගෙනහිර හර්තාල්

Image caption හර්තාලය සමඟ පාලුවට ගිය යාපනය

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (12) සිකුරාදා ක්‍රියාත්මක වූ හර්තාලයක් හේතුවෙන් එම ප්‍රදේශවල ජන ජීවිතය අඩාල විය.

හර්තාලය සංවිධානය කෙරුණේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ.සැකකරුවන් සියලු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කරණ ලෙස රජයට බල කිරීමටයි.

උතුරු පළාතේ හර්තාලය මෙහෙයවන ලද්දේ ස්වේච්ඡා සංවිධාන කීපයක් මගිනි.

හර්තාලය ක්‍රියාත්මක වූ කාලය ඇතුළත කිසිදු ප්‍රචණ්ඩ සිද්ධියක් වාර්තා නොවූ බවයි පොලිසිය පවසන්නේ.

වවුනියාව,යාපනය,කිලිනොච්චිය,මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක වල සියලු වෙළෙඳසැල් වසා දමා තිබුණු අතර එම පළාත්වල ගමනාගමන කටයුතු ඉතා දුර්වල තත්ත්වයකයි පැවතුණේ.

මේ නිසා පාසල් සිසුන්ගේ පාසල් ගමන්,රජයේ නිලධාරීන්ගේ රැකියා ගමන් බිමන් ආදිය අඩාල වී තිබුණි.

නැගෙනහිරත් නිහඬයි

උතුරු පළාතේ බොහෝ පාසල් අද දවස තුළ වසා දැමුණු තත්ත්වයකයි පැවතුණේ.

රජයේ කාර්යාල කටයුතු ක්‍රියාත්මක වූයේද අඩපණ තත්ත්වයකිනි.

හර්තාලය පැවති උතුරේ සෑම නගරයකම විශේෂ පොලිස් බල ඇණි යොදවා ආරක්ෂක විධි විධාන තර කරනු ලැබ තිබෙනු දක්නට ලැබුණ බව වව්නියාව ප්‍රාදේශීය වාර්තාකරු දිනසේන රතුගමගේ පවසයි.

මඩකලපුව ප්‍රාදේශීය වාර්තාකාරිනී ශාන්ති සෙල්වදුරේ පවසන්නේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් බල කරමින් දෙමළ ජාතික සන්ධානය විසින් කැඳවන ලද හර්තාලය නිසා අද නැගෙනහිර පළාතේත් ජන ජීවිතය අඩාල වූ බවයි.

නැගෙනහිර පළාතේ මඩකලපුව සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රධාන නගරවල හර්තාලය නිසා ගමනාගමනය ,ප්‍රවාහන සේවාවන්, වෙළෙඳ කටයුතු, පාසල් අධ්‍යාපනය,බැංකු සහ ආණ්ඩුවේ කාර්යාල කටයුතු අඩපණ වූ බවයි ප්‍රාදේශීය වාර්තාකාරිය පවසන්නේ.

ආණ්ඩුවෙන් නිවේදනයක්

මේ අතර අධිකරණ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින සැකකරුවන් අතරින් බරපතල අපරාධමය නොවන වැරදි වලට සම්බන්ධ නොවන වැරදි වලට සම්බන්ධ පුද්ගලයන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කටයුතු කළත් එය පූර්ණ නිදහස් කිරීමක් නොවන බවයි කියා සිටින්නේ.

දමිළ සැක කරුවන් පිරිසක් මුදා හරිනු ලැබීම බරපතල වරදක් ලෙස විග්‍රහ කරමින් ඇතමුන් ජනතාවට වැරදි අර්ථකථන කරන බවත් අධිකරණ අමාත්‍යංශයේ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙයි.