නිදහස ලැබූ දෙමළ සිරකරුවෙක්

Image caption නිදහස් වීමෙන් පසු අලගයියා සුදාහරන් සිය බිරිඳ සමඟ

පසුගියදා ඇප මත නිදහස ලැබූ එක් එල්ටීටීඊ සැකකරුවෙක් සිය අත්දැකීම සංදේශයට හෙළි කළේය.

කොටි සැකකරුවකු ලෙසින් චෝදනා ලැබුවත් පසුගිය වසර 24 ක් මුළුල්ලේ තමන්ට එල්ටීටීඊය සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබුණු බවයි මඩකලපුවේ වාසය කළ අලගයියා සුදාහරන් පවසන්නේ.

2014 අගෝස්තු 14 වැනිදා ත්‍රස්ත මර්දන ඒකකය මගේ ගෙදරට ඇවිල්ල මාව අත්අඩංගුවට අරන් කොළඹට ගෙනාව. මාස එකහමාරකට පස්සේ බූස්සට යැව්වා. එහෙ මාස හතක් හිටියා. ඊට පස්සේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ මාස හයක් හිටියා. පසුගිය සැප්තැම්බර් 15 වෙනිදා තමයි නඩුවක් තියෙනවා කියල මඩකලපුව උසාවියට අරගෙන ආවේ. දවස් දෙකකට පස්සේ අප මත නිදහස් වුනා.’ ඔහු සිය කතාවට මුල පිරුවේ ඒ අයුරින්.

Image caption ‘1995 ට පෙර වසර දෙකකට අඩු කාලයක් කොටි සංවිධානයට සම්බන්ධ වෙලා හිටියා. කරුණා සහ පිල්ලෙයාන් සමඟත් ඉඳල තියෙනවා.'

සංදේශය වෙනුවෙන් මඩකලපුවේ ශාන්ති සෙල්වදොරේ සමඟ සිය අත්දැකීම් විස්තර කළ අලගයියා සුදාහරන් කියා සිටියේ කිසිදු ගිනි අවියක් තමා සන්තකව නොතිබුණු බවයි.

‘එල්ටීටීඊ සංවිධානයේ හිටිය බවත්, ගිනි අවි ළඟ තබා ගත්ත බවත් තමයි මට තියෙන චෝදනා. ශරීර ඇප දෙකක් සහ රුපියල් දහදාහක මුදල් ඇප මත නිදහස් කළා.’

තමන්ට පනවා ඇති ඇප කොන්දේසි විස්තර කරමින් ඔහු කියා සිටියේ තමන්ට රටින් පිටවීම තහනම් කර ඇති අතර සෑම ඉරිදාවකම මඩකලපුව පොලිසියේ නිලධාරියෙකු ඉදිරිපිට අත්සන් කිරීම අනිවාර්‍ය කර ඇති බවයි.

එළැඹෙන පෙබරවාරි අට වැනිදා ට නැවත නඩු විභාගය සඳහා තමා උසාවියට කැඳවා ඇති බවයි ඔහු කියා සිටියේ.

Image caption දෙමළ සිරකරුවන්ට නිදහස ඉල්ලා මන්නාරමේ පැවති රැළියක්

‘1995 ට පෙර වසර දෙකකට අඩු කාලයක් කොටි සංවිධානයට සම්බන්ධ වෙලා හිටියා. කරුණා සහ පිල්ලෙයාන් සමඟත් ඉඳල තියෙනවා. 1995 න් පස්සේ ඒකෙන් ඉවත් වෙලා විවාහයක් කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කළා. අවුරුදු 16 ක පුතෙකුත් මට ඉන්නවා. සෞදි, කටාර් වගේ රටවලට ගිහිල්ල රැකියාවක් කරලා පවුලේ අයව බලා ගත්තා.’ අලගයියා සුදාහරන් පැවසීය.

තමා සමඟ රැඳවුම් භාරයේ සිටි දෙමළ සිර කරුවන්ගේ පවුල් ඉතා දිළිඳු තත්වයේ සිටින බව, ඔවුන් බැලීමට පැමිණෙන අය ගෙන එන ආහාරවලින් පෙනී යන බවයි ඔහු කියා සිටියේ.

ඇප මත මුදා හැරීම, පොදු සමාව හෝ පුනරුත්තාපනය ඔවුන්ගේ අපේක්ෂාව බවයි ඔහු සඳහන් කරන්නේ.

‘අලුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙරෙහි ගැඹුරු විශ්වාසයක් දෙමළ සිරකරුවන් තුළ තියෙනවා.’ ඇප මත නිදහස ලබා සිටින අලගයියා සුදාහරන් පැවසීය.