විධායක ජනපති ධුරය 'අහෝසි කිරීමට කැබිනට් පත්‍රිකාවක්'

Image copyright President Office
Image caption 'ලෝකයේ දියුණු රටවල පවතින ස්වාධීන කොමිෂන් සභා දැන් අපේ රට තුලත් පිහිටුවා තිබෙනවා'

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල රැස්වීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනපතිවරයා ඒ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් දිවිත්ව පුරවැසි සහතික පත් ප්‍රධානය කිරීම වෙනුවෙන් අරලියගහ මැදුරේදී පැවති උත්සවයක් අමතමින්.

විධායක ජනපති ක්‍රමය අහෝසි කොට එම බලතල පාර්ලිමේන්තුව සහ අනෙකුත් ආයතන වෙත පැවරීම සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ඡා කොට ඇති බවයි ජනපතිවරයා එහිදී පවසා සිටියේ.

රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බව කියා සිටි ජනාධිපතිවරයා ජනතාවට පොරොන්දු වූ ආකාරයට මේ වන විට ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා ඇති බවයි සඳහන් කළේ.

'ලෝකයේ දියුණු රටවල පවතින ස්වාධීන කොමිෂන් සභා දැන් අපේ රට තුලත් පිහිටුවා තිබෙනවා'

Image copyright Getty
Image caption 'ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ මේ ගෙන යන ව්‍යාපාරයට සැමගේ සහාය අවශ්‍යයි'

ඉතා ඉක්මනින් නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කරන බවත් ජනපතිවරයා කියා සිටියේය.

අගමැති

ආණ්ඩුව බලයට පත් වී කෙටි කාලයක් තුළ රටේ වෙනස්කම්වලට අවශ්‍ය මූලික පදනම සකසා ඇති බව කියා සිටි ජනාධිපතිවරයා 'විශේෂයෙන් අප අලුත් ගමනක් යනවා. ඇතැමුන් සිතන්නේ මේ ආණ්ඩුව බලයට පත් වී අවුරුදු පහක් දහයක් වැනි කාලයක් ගත වී ඇති බවයි' යනුවෙන් පැවසුවේය.

'වර්තමානයේ මෙරට තිබෙන නිදහස් වාතාවරණය තුළ බොහෝ දෙනකු නිදහසේ අදහස් ප්‍රකාශ කරනවා. කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමැතිවරුත් නිදහසේ කතා කරනවා. මම පසුගිය අවුරුදු විස්සක් විවිධ ආණ්ඩු යටතේ ඇමති ධුර දරුවා.එම ආණ්ඩු යටතේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කතා කළේ, හැසුරුනේ කොහොමද කියලා මම දන්නවා'

ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව ස්ථාපිත කොට යහපත් රටක් ගොඩ නැංවීම සඳහා දරන වෑයමට සහාය ලබා දෙන මෙන් අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

'ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ මේ ගෙන යන ව්‍යාපාරයට සැමගේ සහාය අවශ්‍යයි.අප මේ රට ගොඩ නංවමු. අප මේ රට ඉදිරියට ගෙන යමු' අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර