ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගංවතුරෙන් '23000 කට වැඩි පිරිසක් අනාථයි'

දිස්ත්‍රික්ක ගණනාවක පවතින ගංවතුර හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයන් 23652 දෙනකු තවමත් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන තුළ රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දින ගණනාවක් පැවති වර්ෂාව හමුවේ ඇති වූ ගංවතුර සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් පුද්ගලයන් ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත් වී ඇති බවයි හදිසි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

පැවති අයහපත් කාලගුණය ඇතැම් දිස්ත්‍රික්කවලින් පහව යමින් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේය.

'නුවරඑලිය, නුවර, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව මාතලේ, ත්‍රිකුණාමලය, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල පැවතුණ තත්වය සමහර ප්‍රදේශවල යම් තාක් දුරට යහපත් අතට හැරෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් වාර්තා කොට තිබෙනවා'

ගංවතුරෙන් පීඩාවට පත් පිරිස්වලට රැඳී සිටීම සඳහා ආරක්‍ෂිත ස්ථාන 121 රට පුරා පිහිටුවා ඇති බවත් එවැනි පිරිස් සඳහා සහන සේවා වැඩපිළිවලක් ක්‍රියාත්මක කොට ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

තමිල්නාඩුවටත්

Image caption ජල ගැල්ම හමුවේ විපතට පත් පිරිස් ගලවා ගැනීමටත් ඔවුන් වෙත සහන සැපයුම් ලබා දීම සඳහාත් ඉන්දීය හමුදා සහ ගුවන් හමුදා කටයුතු කරමින් සිටිති

මේ අතර දකුණු ඉන්දීය තමිල්නාඩුවේ පවතින ගංවතුරට හසු වීමෙන් හැත්තෑවකට අධික පිරිසක් මරුමුවට පත් වී තිබේ.

සති කිහිපයක් පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුරෙන් යට වූ ප්‍රදේශවල වෙසෙන දස දහසකට ආසන්න පිරිසක් එම පෙදෙස්වලින් ඉවත් කොට තිබේ.

ජල ගැල්ම හමුවේ විපතට පත් පිරිස් ගලවා ගැනීමටත් ඔවුන් වෙත සහන සැපයුම් ලබා දීම සඳහාත් ඉන්දීය හමුදා සහ ගුවන් හමුදා කටයුතු කරමින් සිටිති.

තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන චෙන්නායිහි මාර්ග බොහොමයක් ජලයෙන් යට වී ඇති අතර එහි පිහිටි පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දමා තිබේ.

සහන සේවක කණ්ඩායම් බෝට්ටු යොදා ගනිමින් චෙන්නායි නුවර ගංවතුරට කොටු වී සිටින පිරිස් වෙත ළඟා වෙමින් සිටිති.