වවුචරයට ගුරු සංගමයේ විරෝධය

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලංකාවේ පවතින නිදහස් අධ්‍යාපනය තුළ පෙළ පොත් හා නිළ ඇඳුම් රෙදි නොමිලේ ලබා දීම ඉදිරිගාමී පියවරක් බව පවසන ලංකා ගුරු සේවා සංගමය ලබන වසරේ සිට නිල ඇදුම් රෙදි වෙනුවට මුදල් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා ගත් තීරණයට දැඩි විරෝධය පළ කරයි.

1993 සිට කි‍්‍රයාත්මක වන පරිදි සිසුන් ලක්ෂ 42කට පමණ නොමිලේ නිළ ඇඳුම් රෙදි ලබා දෙන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2300 කි.

වර්තමාන රජය නිළ ඇඳුම් රෙදි ලබාදීම වෙනුවට ඒ සඳහා වවුචරයක් ලබාදෙන බව සඳහන් කර ඇත.

'මිලියන 800 ඉතුරුයි'

Image copyright AFP

ලබන වසරේ සිට පාසල් නිල ඇදුම් වෙනුවට මුදල් වවුචර් පත් ලබා දීමේ වැඩ පිළිවෙළ මගීන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉතිරි කිරීමට බලාපොරොත්තු වන මුදල රුපියල් මිලියන 800 කි .

ප්‍රමිතියෙන් බාල රෙදි ලබාදීම හා ටෙන්ඩර් මගඩි හරහා අති විශාල මුදල් අවභාවිතාවක් සිදුවීම පදනම් කරගෙන එවැනි තීරණයකට එළඹී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.

එවැනි තත්වයක් පවතින්නේ නම් කළ යුත්තේ රජය මැදිහත් වී උසස් ප්‍රමිතියෙන් යුත් රෙදි ලබාදීම පිළිබඳ සොයා බැලීමක් හා දූෂණ තුරන් කරන ක්‍රමවේදයක් ටෙන්ඩර් පටිපාටියට ඇතුළත් කිරීම යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් කියයි .

'තීරණය නිවැරදියි'

ලංකා ගුරු සංගමය නිල ඇදුම් රෙදි සදහා මුදල් ලබා දීමට විරෝධය පල කලත් ලංකා විදුහල්පති සංගමය ප්‍රකාශ කලේ අධ්‍යාපන අමාත්‍යවරයා ගත් මේ තීරණය නිවැරදි බවයි .

පසුගිය කාලයේ ලබා දුන් පාසල් නිල ඇදුම් රෙදි ප්‍රමිතියෙන් ඉතා බාල තත්වයේ තිබු බවද ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු කියා සිටි .

'ප්‍රායෝගික නෑ'

නිතිඥයකු වන නිහාල් සුමනධිරගේ මතය වන්නේ රෙදි වෙනුවට මුදල් ලබා දීම ප්‍රායෝගික නොවන බවයි .

ධීවර ක්‍රියාධරයෙකු වන ලොයෙල් පිරිස් මේ වැඩපිළිවෙළ ධීවර සහනාධාර වැඩපිළිවෙළට සමාන කල අතර අවසානයේ පාසල් දරුවනට නිල ඇදුම් රෙද්ද හෝ මුදල හෝ නොලැබෙන බව සදහන් කළේය .

සංදේශයට අදහස් පල කල ඇතැම් දෙමාපියන් මෙන්ම සිසුන්ද දැනට ලබා දෙන නිල ඇදුම් රෙදි වලට කැමැත්ත පල කල අතර මුදල් ලබා දීමේ වැඩපිළිවෙල පාසල් දරුවනට දිව ආහාර ලබා දීමේ වැඩ පිලිවෙලට සමාන කරන ලදී .