ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රන්ජන් 'ඇවන්ගාඩ් - හඬපට' අල්ලස් කොමිසමට බාර දෙයි

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා අමාත්‍ය රාජිත සේනාරත්නගේ ලේකම්වරයෙකු හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සයුරු සමරසුන්දර අතර ඇති වූ බව පැවසෙන දුරකථන සංවාද ඇතුළත් හඬ පට දෙකක් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් අල්ලස් කොමිසමට බාර දී තිබේ.

අල්ලස් ලබා දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළ බව කියා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා අල්ලස් මුදලක් බාර ගැනීම පිළිබඳ අමාත්‍ය රාජිත සේනාරත්නගේ ලේකම් සයුරු සමරසුන්දරට එරෙහිවද පැමිණිලි කළ බවයි මාධ්‍යයට ප්‍රකාශ කළේ.

ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අතර ඇතිවූ බව පැවසෙන ඉහත කී දුරකථන සංවාදය ඊයේ අඟහරුවාදා පළමු වරට පළ කර තිබුණේ 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය විසින්.

හඬ පටයට අනුව, අමාත්‍යවරයා වෙනුවෙන් තමා රුපියල් මිලියන 5ක මුදලක් ලබාගත් බව එහිදී ඇමති ලේකම්වරයා විසින් තහවුරු කරයි.

මෙම සංවාදය අන්තර්ජාලයට එක්වීමත් සමග අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිල ෆේස්බුක් අඩවියෙන් තවත් හඬ පටයක් නිකුත් කරන අතර එහි සඳහන් වූයේ ඉහත කී මුදල ලබා ගැනීම අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළ බව ලේකම්වරයා විසින් ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට දන්වා සිටින ආකාරයයි.

'මිලියන 5ක චෙක්පතක්'

අන්තර්ජාලයට එක් කොට තිබෙන ඉහත කී හඬ පට දෙකම අද බදාදා රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් අලල්ස් කොමිසමට බාරදුන් අතර ඔහු එහිදී අවධාරණය කළේ චෝදනා සම්බන්ධයෙන් දෙපාර්ශවය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

"හඬ පට වලින් පැහැදිලි වනවා මුදල් හුවමාරු වූ බවට , මොකටද මේක හුවමරු වූයේ කියල හොයන්න අවශ්‍යයි. අමාත්‍ය රාජිත සේනාරත්න කියනවා ඔහු අල්ලස ප්‍රතික්ෂේප කල බව"

"එහෙත් ඔහුගේ ලේකම්වරයා ඒ අල්ලස බාර ගෙන තිබෙනවා, ඒකත් වරදක්. ඇවන්ගාඩ් සමාගම අල්ලස් ලබා දෙන්නත් උත්සහ කරලා තියෙනවා, ඒකත් වරදක්"

මෙම හඬ පටවලට අමතරව රුපියල් මිලියන 5ක් ගෙවූ බවට සඳහන් වන චෙක් පතක පිටපතක්ද රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට ඉදිරිපත් කළේය.

තමන්ට ඇවන්ගාඩ් සමාගම අල්ලස් ලබා දීමට උත්සහකළ බව අමාත්‍ය රාජිත සේනාරත්න අවස්ථා කිහිපයකදීම කැබිනට් මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු වශයෙන් ඇවන්ගාඩ් සමාගම ප්‍රකාශ කළේ ඒ සඳහා සාක්ෂි ඇත්නම් ඉදිරිපත් කරන ලෙසයි.

අන්තර්ජාලයට එක් කොට තිබෙන ඉහත කී හඬ පට පිළිබඳ අදහස් දැන ගැනීම සඳහා ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා අමාත්‍ය රාජිත සේනාරත්න සම්බන්ධ කර ගැනීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.