පොලිස් පොඩ්ඩෝ 'උසස් නිලධාරීන්ගේ වහල් මෙහෙයට'

Image copyright Defence.lk
Image caption ඉහල පොලිස් නිලධාරීන්ගේ නිල නිවාස සහ වටපිටාව අතපතු ගෑම, වළං සේදීම, ආහාර පිසීම, රෙදි සේදීම, කඩේ යාම වැනි මෙහෙකාර සේවයේ යෙදීමට සිදුව ඇති බව පොලිස් ආරක්ෂක සහායකයෝ පවසති

පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කර ඇති පොලිස් ආරක්ෂක සහායක සේවයේ නිලධාරීන් උසස් පොලිස් නිලධාරීන්ගේ මෙහෙකාර සේවයට යොදවන බවට එම නිලධාරීහු චෝදනා කරති.

විශ්‍රාම වැටුපකට හිමිකම් කියන පොලිස් ආරක්ෂක සහායක සේවයේ නිලධාරීහු දිවයින පුරා පිහිටි සෑම පොලිස් ස්ථානයකම සේවය කරති.

පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පටන් නියෝජ්‍ය පොලිස්පති දක්වා වූ ඉහළ පොලිස් නිලධාරීන්ගේ නිල නිවාසවල සේවයට යොදවන තමන්ට නිල නිවාස සහ වටපිටාව අතපතු ගෑම, වළං සේදීම, ආහාර පිසීම, රෙදි සේදීම, කඩේ යාම වැනි මෙහෙකාර සේවයේ යෙදීමට සිදුව ඇති බව පොලිස් ආරක්ෂක සහායකයෝ බීබීසී සංදේශයට පැවසූහ.

ඔවුන් එය හඳුන්වන්නේ 'වහල් මෙහෙයක්' ලෙසින්.

'පැමිණිල්ලක් නෑ'

මෙහෙකාර සේවයේ යෙදෙන මෙන් ඉහල නිලධාරීන් දෙන නියෝග කඩ කිරීම දඬුවම් මාරුවීම් සහ වෙනත් රාජකාරිමය පළිගැනීම්වලට හේතුවිය හැකි බැවින් අකමැත්තෙන් වුව එම නියෝග පිළිපැදීමට සිදුව ඇති බවද ඔවුහු පවසති.

2006 වසරේ ජුනි 01 දා සිට සේවය ස්ථිර කර ඇති තමන් මෙම මෙහෙකාර සේවයෙන් මුදවා ගන්නා මෙන් පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටින බව ද පොලිස් ආරක්ෂක සහායක සේවයේ නිලධාරීන් පිරිසක් සංදේශයට පැවසූහ.

පොලිස් ආරක්ෂක සහායක පත්විම් ලබද්දී වෘත්තිය සමිතිවලට සම්බන්ධ නොවන බවට සහ උද්ඝෝෂණ, පිකටිං ආදියට හෝ වෙනත් ක්‍රියාවන්ට සම්බන්ධ නොවන බවට පොරොන්දු දී ඇති හෙයින් තම ඉල්ලීම් සම්බන්ධයෙන් ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීම දුෂ්කර බවද ඔවුහු පවසති.

කෙසේ වුවද එවැන්නක් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් කිසිදු පොලිස් ස්ථානයකට හෝ පොලිස් දෙපාර්තමේන්තුවට මෙතෙක් ලැබි නැති බවයි, පොලිස් අරක්ෂක සහායකයන් නගන චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ.