නව අයවැය විවිධ දේශපාලන ඇසින්

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මෙවර අයවැය ඉලක්කයක් නොමැති යෝජනා මාලාවක් පමණක් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

අයවැය විවාදයට සහභාගී වී පාර්ලිමේන්තුවෙන් කල් තබා පිටත්ව යමින් සිටිය දී මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු මුදල් ඇමතිවරයකු ද වන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ‘මෙය රසක් නොමැති අයවැයක්' වන බවයි.

‘කිසිම ඉලක්කයක් කරා ගමනක් යයි මට පෙනෙන්නේ නැහැ’ හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

කොලේ වසා ගැසීමක්

හිටපු නියෝජ්‍ය මුදල් ඇමතිවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන 2016 අයවැය ලේඛනය විග්‍රහ කරන්නේ ‘කොලේ වසා ගැසීමක්’ හැටියටයි.

‘මහින්ද රාජපක්ෂ යුගයේ කරන්න බලාපොරොත්තු වෙන දේ කෙලින්ම කිව්වා. මෙවර කරලා තියෙන්නේ එහෙම කියාන්නේ නැතුව වෙන වෙන කරුණු දමමින් යෝජනා ඉදිරිපත් කිරීමක්.උදාහරණයක් විධියට රජයේ සේවකයන්ගේ මූලික වැටුපට සතයක් වත් එකතු කරලා නැහැ’ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

ඒ අතරම අලුතින් රාජ්‍ය සේවයට එක්වන්නන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කර ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ග්‍රාමීය ජනතාවට සහන

සමුර්ධි සහ ඉදි කිරීම් භාර ඇමති සජිත් ප්‍රේමදාස 2016 අයවැය ලේඛනය විග්‍රහ කරන්නේ ග්‍රාමීය ප්‍රජාවට සහන ලබා දෙන වැඩපිළිවෙලක් හැටියටයි.

Image copyright president.gov.lk
Image caption හිටපු ජනාධිපතිවරයා මුදල් ඇමති ලෙස අයවැය ඉදිරිපත් කළ අවස්ථාවක්

‘සමස්ත අයවැය ගත විට එය ධනාත්මක හරාත්මක ගුණාංග වලින් සපිරි පොඩි මිනිසාගේ අයවැයක්’ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ‘2016 අයවැය ලේඛනය අසාර්ථක ආර්ථික සැලැස්මක් වටා ගොඩ නැගුන යෝජනාවලියක් වන බවයි පවසන්නේ.

‘ගොවි ධීවර ජන කොටස් එසේම රැකියා විරහිතයන්ගේ ජීවිත උසස් තත්වයකට ගෙන එනවා වෙනුවට ජාවාරම් කරුවන් අතලොස්සකට අවශ්‍ය පරිදි ආර්ථිකයේ පෞරාණික ස්ථාන පවරා ගැනීමට 2016 අයවැය ලේඛනය මගින් පියවර ගෙන තිබෙනවා’ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියි.

Image caption අයවැය විරෝධී ජවිපෙ උද්ඝෝෂණයක්

මෙම ආර්ථික යෝජනා රට හෝ සමාජය අඟලකින්වත් පෙරට ගෙන යාමට සමත් නොවන බවයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ අදහස වන්නේ.

එම යෝජනා යල්පැනගිය , එසේම තවදුරටත් ලෝකය භාවිතයට නොගන්නා ආර්ථික වැඩ පිළිවෙලක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ විග්‍රහයයි.

සාම්ප්‍රධායික විරෝධයක්

මෙම අයවැය යෝජනා සම්බන්ධයෙන් එල්ල කෙරෙන විරෝධය සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය පළ කරන ඩිජිටල් පහසුකම් සහ විදුලි සංදේශ ඇමති හරීන් ප්‍රනාන්දු පවසන්නේ ඇතැමුන් ‘හැමදාමත් සම්ප්‍රදායක් හැටියට’ විරෝධය පළ කරන බවයි.

‘මෙය ජනතාවට සහන දෙන අතරවාරයේ රටේ සංවර්ධනය සඳහා මුදල් වෙන් කරන ලද අයවැයක් ද වන බව ඇමතිවරයාගේ අදහසයි.

Image copyright b

බදු සහන මගින් ව්‍යාපාරිකයන් දිරිමත් කෙරෙන අතර විදේශීය ආයෝජකයන්ට බදු සහන දීම මගින් විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කෙරෙන බවත් ඩිජිටල් පහසුකම් සහ විදුලි සංදේශ ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

සමබර විචාරය

අයවැය සම්බන්ධයෙන් සමබරව බැලිය යුතු බව රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න පවසයි.

‘හැම දෙයක්ම එක වසරකින් කිරීම දුෂ්කරයි.අද අපේ උත්සාහය දශක දෙකකට ආසන්න කාලයක් තිබුන වැරදි ප්‍රතිපත්ති නිරාකරණය කිරීමයි.එය දවසකින් දෙකකින් සිදු කළ නොහැකි බවයි නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ.

පොරොන්දු දේශපාලනයෙන් මිදී ප්‍රතිපත්ති දේශපාලනයට අවතීර්ණ විය යුතුව ඇති බවත් ව්‍යවසාය නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න පෙන්වා දෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර