ශ්‍රී ලංකාවට හානි කිරීමට ඉඩ දෙන්නේ නැහැ- සම්බන්ධන්

Image copyright samanthapower twitter
Image caption සමන්තා පවර් සහ TNA නායක හමුව

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට දෙන සහයෝගය පිළිගන්නා අතරම යම් හෙයකින් ඔවුන් ශ්‍රී ලංකාවට හානිකර පියවරක් ගත්තොත් ඊට ඉඩ නොදෙන බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් කියා සිටියි.

විපක්ෂ නායකයා එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනි සමන්තා පවර් මුණ ගැසීමෙන් අනතුරුව බීබීසී සිංහල අංශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී.

‘ශ්‍රී ලංකාවේ ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ගනු ලබන උත්සාහයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලැබීම අගය කරන බවයි’විපක්ෂ නායකයා පවසන්නේ.

‘අපි අපේ රටේ පවතින ප්‍රශ්න ගැන තානාපතිතුමියත් සමඟ සාකච්ඡා කළා. එම ප්‍රශ්න වලට අපි කවුරුත් එකතුව විසඳුම් ලබා ගැනීම ගැනයි අපි කතා කළේ’ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පවසයි.

‘ඇමෙරිකානු තානාපතිවරිය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟත් සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් අපේ රටට උදව් කරන්න ලෑස්තියි.ඒක රටට හොඳයි කියල අපි හිතනවා’ විපක්ෂ නායකයා පෙන්වා දෙයි.

Image copyright US Embassy Colombo
Image caption තානාපතිවරිය උතුරේ දී

සමන්තා පවර් තානාපතිවරිය ශ්‍රී ලංකාවේ තත්වය ගැන දැනුමක් සහිතව සිටි බව සඳහන් කළ විපක්ෂ නායකයා ‘තමන් අතර පැවති සාකච්ඡාව යහපත් එකක් වූ බවත් කියා සිටියි.

දේශපාලන වාසි වලට

දෙමළ ජාතික සන්ධානය ඇමෙරිකානු මැදිහත් වීම අනුමත කරන නමුත් ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ එවැනි ඇමෙරිකානු මැදිහත් වීමකට විරෝධය පළ කරනවා නොවේදැයි බීබීසිය ප්‍රශ්න කළ විට විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සඳහන් කළේ ‘ඇතැමුන් දේශපාලන ලාභ වෙනුවෙන් එවැනි පිළිවෙත් අනුගමනය කරන’ බවයි.

‘ඔවුන් මිනිසුන් බය කරනවා. එය නතර කළ යුතුයි. බය වීමේ උවමනාවක් නැහැ. බය කරන්නේ දේශපාලන ලාභය සඳහායි’

තව දුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අවධාරණයෙන් කියා සිටියේ ‘ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට එරෙහිව කිසිවක් නොකරන අතරම එවැන්නක් කිරීමට තමන් ඉඩ නොදෙන’ බවයි.