මහවිරු දිනය: 'ජවිපෙ අයිතිය අපටත් දෙන්න'

Image caption මහවිරු දිනය සහ එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ ජන්ම දිනය සමරන මෙන් ඉල්ලීම් කෙරෙන පොස්ටර් යාපනය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි බිත්ති මත අලවා තිබිණි

දකුණේ ජනතා විමුක්ති පෙරමුණට ඔවුන්ගේ මරා දැමුණ නායකයන් සහ පක්ෂ සාමාජිකයන් අනුස්මරණය කිරීමට අයිතියක් ඇත්නම් එම අයිතිය දෙමළ ජනතාවටත් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් පවසයි.

නොවැම්බර් 27 වනදාට යෙදී ඇති එල්ටීටීඊ සංවිධානයේ මහවිරු දිනය සමරනු ලැබීම නීති විරෝධී බව පොලිසිය ප්‍රකාශ කොට ඇති නමුත් දෙමළ ජනතාවට තම මියගිය පිරිස සැමරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එදිනට රැස් වන ලක්ෂ සංඛ්‍යාත ජනකායකට එරෙහිව කටයුතු කිරීමට පොලිසියට හැකි වනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවන බව පවසන හිටපු මන්ත්‍රීවරයා තමන් එම අවස්ථාව සැමරීමට මුල් වී ඊට ජනතා සහයෝගය ලබා ගන්නා බවයි කියා සිටියේ.

'සැමරුම් තහනම්'

Image copyright Getty
Image caption එල්ටීටීඊ සංවිධානයට අයත්ව තිබූ කෝපේයි සුසාන භුමියේ 2003 වසරේදී ගනු ලැබූ ඡායාරූපයක්

මේ අතර මහවිරු දිනය සහ එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ ජන්ම දිනය සමරන මෙන් ඉල්ලීම් කෙරෙන පෝස්ටර් යාපනය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි බිත්ති මත අලවා තිබිණි.

තහනමට ලක්ව තිබෙන එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් කවර අවස්ථාවකදී හෝ ප්‍රසිද්ධියේ කිසිදු සැමරුමක් කළ නොහැකි බව මේ පිළිබඳ අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක් නොකළ සංවිධානයක් බව පැවැසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එය රටේ පිළිගත් දේශපාලන පක්ෂයක් බැවින් ඔවුන්ට ඇති අයිතිය තහනම් කළ එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් ලබා දිය නොහැකි බවයි සඳහන් කළේ.

යම් කිසිවෙක් නීති විරෝධී අන්දමින් ක්‍රියා කරන්නේ නම් ඔවුන් අත් අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර