'දින නියමයක් නැති සිරකරුවන් නිදහස් කළ යුතුයි'

ජාතික ආරක්ෂාව සහ පුද්ගල නිදහසට ඇති අයිතිය අතර තුලනාත්මකව ක්‍රියා කිරීමට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට වගකීමක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවේ පසු වන එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක වාතාවරණය පිළිබඳ සංදේශය කළ විමසීමකදී.

‘දින නියමයක් නැතිව මිනිස්සු හිර භාරයේ තබා ගෙන සිටීම මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් නීතියේ ආධිපත්‍යයටත් සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයක්. ඒ නිසා සිරකරුවන් එල්ටීටීඊ වේවා, ජේවීපී වේවා, දෙමල වේවා කොයි සිරකරුවාටත් දින නියමයක් තිබිය යුතුයි ඔවුන් රඳවා තබා ගැනීමේදී. දින නියමයක් නැතිනම් ඔවුන් කොන්දේසි මත නිදහස් කළ යුතුයි. ඔවුන්ගෙන් අනතුරක් වේයැයි හිතෙනවානම් ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි. හැමදාම රඳවාගෙන සිටීම ඒකට පිළිතුර නෙමෙයි.’ ඔහු පැවසීය.

Image copyright AFP

දේශපාලන සිරකරුවන් ඇප මත මුදා හැරීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ මත දෙකක් පවතින බව ද වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පිළිගත්තේය.

ජාතික ආරක්ෂාවට යම් කෙනෙකු අනතුරුදායක වේනම් ඔහු නිවාස අඩස්සියේ තැබිය හැකි බවයි ඔහු පවසන්නේ.