යාපනයේ වධකාගාරයක් තිබූ බවට සාක්ෂි - හිටපු මන්ත්‍රීවරයෙක්

Image copyright Suresh Premachandra
Image caption 'වධකාගාරයේ බිත්ති මත විශාල ලේ පැල්ලම් තිබූ බවත් එම ලේ පැල්ලම්වලින් මිනිස් අතැඟිලිවල රූ සටහන් ඇඳී' තිබුණු බවයි හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනයේ වරණි ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය බව පැවසෙන වධකාගාරයක් පිළිබඳ තොරතුරු තමා සතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

ඒ පිළිබඳ තොරතුරු දැන සිටි නමුත් එවකට පැවති භීෂණකාරී වාතාවරණය මත ජීවිත ආරක්ෂාව පතා එය හෙළි කිරීමෙන් වැලකී සිටි බවයි හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ.

එම ප්‍රදේශයේ වැසියන් පිරිසක් තමා වෙත ලබා දුන් තොරතුරුවලට අනුව එහි ගොස් ඡායාරූප රැසක් ලබා ගත් බවත් ඔහු පැවසුවේය.

නාවික හමුදාව විසින් පවත්වාගෙන ගිය බවට පැවසෙන වධකාගාරයක් පිළිබඳ තොරතුරු මෑතකදී පාර්ලිමේන්තුවට හෙළි කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් පවා එහි ගොස් සත්‍ය අසත්‍යතාව අවබෝධ කර ගෙන ඇති බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

Image copyright Suresh Premachandra
Image caption යුද සමයේදීවත් ආරක්ෂක හමුදාව විසින් හිටපු මන්ත්‍රීවරයා පවසන ආකාරයේ වධකාගාර පවත්වාගෙන නොගිය බවයි, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසන්නේ

එවැනි තත්වයක් යටතේ, යාපනයේ වරණි පළාතේ පිහිටි වධකාගාරය පිළිබඳ සම්පූර්ණ තොරතුරු හෙළි කිරීමට මේ වන විට අවස්ථාව උදා වී ඇතැයිද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

වධකාගාරයේ ස්වභාවය පිළිබඳව අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ 'එහි වහලයට පහලින් කටු කම්බි ගසා' තිබූ බවයි.

'වධකාගාරයේ බිත්ති මත විශාල ලේ පැල්ලම් තිබූ බවත් එම ලේ පැල්ලම්වලින් මිනිස් අතැඟිලිවල රූ සටහන් ඇඳී' තිබුණු වගද ඔහු පැවසීය.

Image copyright Suresh Premachandran
Image caption වධකාගාරයේ ස්වභාවය පිළිබඳව අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ 'එහි වහලයට පහලින් කටු කම්බි ගසා' තිබූ බවයි

කෙසේ නමුත් යුද සමයේදීවත් ආරක්ෂක හමුදාව විසින් හිටපු මන්ත්‍රීවරයා පවසන ආකාරයේ වධකාගාර පවත්වාගෙන නොගිය බවයි, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසන්නේ.

වර්තමානයේ යුද හමුදාව කටයුතු කරණු ලබන්නේ සංහිඳියාව මුල් කර ගත් මානුෂීය ක්‍රියාදාමයක් මත හිඳ බව පවසන යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා, මන්ත්‍රීවරයා පවසන ස්ථානයේ තිබූ හමුදා කඳවුර පවා දැන් එම ස්ථානයේ නොමැති බව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර