ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වෛද්‍ය වැඩවර්ජනය: 'සමාජයට නරක පණිවුඩයක්'

වාහන බලපත්‍රයක් ඉල්ලා වැඩවර්ජනයක් දියත් කිරීමට සැරසීම මගින් වෛද්‍යවරුන් සමාජයට 'නරක පණිවුඩයක්' ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ මේ වසරේ අයවැය යෝජනා මගින් අහෝසි කරන ලද රජයේ සේවකයන්ට ලබාදෙන වාහන බලපත්‍ර නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් එක් දින වැඩවර්ජනයක් දියත් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ නිවේදනය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.

බ්‍රහස්තින්දා පෙරවරු අටේ සිට දිවයිනේ සියලුම රෝහල්වල වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

"වෛද්‍යවරුන්ට මෙතෙක් හිමිව තිබූ පහසුකම් අයවැයකින් අහෝසි කිරීම," සිය වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවීමට හේතුව බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අඟහරුවාදා මධ්‍යම රාත්‍රියත් පසුවන තුරු වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ සාකච්ඡා පැවැත්වූ බව බීබීසී සංදේශයේ අසාම් අමීන් කළ විමසීමකදී සඳහන් කළ අමාත්‍යවරයා, වාහන බලපත්‍රය වෙනුවට රුපියල් මිලියනයක දීමනාවක් ලබාදීමට එහිදී තමන් කැමැත්ත පළ කළ බවත් පැවසීය.

'මිලියනයක දීමනාවක්'

"මොකද ඔවුන්ගේ වාහනයක් ගෙනාවම බදු සහනය තියෙන්නේ ලක්ෂ පහක්, හයක් විතර. ඔවුන් සාමාන්‍යයෙන් කියන්නේ පර්මිට් එකම තමයි," අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

කෙසේ නමුත් වැඩවර්ජනයට සහභාගි නොවන බව ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් බොහෝ දෙනකු තමන් අමතා කියා සිටි බවත් සෞඛ්‍ය ඇමතිවරයා පවසයි.

මේ වනවිට තමන්ට වෛද්‍යවරුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව බ්‍රහස්පතින්දා දියත් කිරීමට යෝජිත වැඩවර්ජනය සාර්ථක වනු නැතැයි යන්න සිය මතය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

"වර්ජනය පවත්වාවිද කියලත් මට සැකයි."

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෛද්‍යවරුන් සහ රජයේ ඉහල නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත්‍රය අහෝසි කරන බව නව ආණ්ඩුවේ පළමු අය වැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක නිවේදනය කළේය.