'ඇවන්ගාඩ්' කටයුතු වලින් නාවික හමුදාවට ලාභ

ඇවන්ගාඩ් සමාගමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරූ පළමු දින 6 දී පමණක් නාවික හමුදාව රුපියල් කෝටි 7 කට වැඩි ආදායමක් ලැබූ බව රජය පවසයි.

මෙය ඇවන්ගාඩ් සමාගම විසින් එම කටයුතු සිදු කිරීමේදී රජයට ලැබුණු අදායම මෙන් පස් ගුණයකට වඩා වැඩි වීමක් බවයි රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි බිබිසිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ.

" මේ ආදායම ආරක්ෂක සේවයෙන් විතරයි, ආයුධ විකුණලා එන සල්ලියි අනිකුත් ගනු දෙනු නැතුව, දැන් පේනවද අපි හින්ද රජයට කොපමණ අදායමක් හිමිවෙනවද කියලා"

දිනකට රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක ආදායමක් ලැබුවහොත් එයින් ඇවන්ගාඩ් සමාගම රජයට ලබා දී තිබුණේ ලක්ෂ 25 ක මුදලක් පමණක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඇවන්ගාඩ් සමාගමේ ප්‍රධානියා ලෙස පෙනී සිටින පුද්ගලයා මෙහි සැබෑ අයිතිකරු නොවන බවයි ඇමතිවරයා ප්‍රකාශ කළේ.

ඇවන්ගාඩ් සමාගමේ 6,000 කට රැකියා අහිමිවූ බවට ගෙන යන ප්‍රචාරයද අමුලික බොරුවක් බවයි අමාත්‍යවරයා පැවසුවේ

ඇවන්ගාඩ් සභාපතිවරයා සෞඛ්‍ය හේතු පෙන්වමින් පරීක්ෂණ මඟහැරීම පිළිබඳව ප්‍රශ්නයක් මාධ්‍ය වේදියෙකු විසින් මතු කළ විට අමාත්‍යවරයා පැවසුවේ පොලීසියට අවශ්‍ය නම් ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහු අත්අඩංගුවට ගත හැකි බවයි.