තොරතුරු දැන ගැනීමේ පනත ගැන තොරතුරු හයක්

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සමාජ ක්‍රියාධරයන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටි තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන පනතට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙවැනි පනතකින් රටට හෝ එහි සාමාන්‍ය ජනතාවට ඇති වන සෙත කුමක්දැයි ඇතැමෙක් ප්‍රශ්න කරති.

තොරතුරු දැන ගැනීමේ පනත කෙටුම්පත් කිරීම සඳහා පත් කළ කමිටුවේ සාමාජිකයෙකු වූ ප්‍රවීණ ලේඛක සහ සමාජ ක්‍රියාධර ගාමිණී වියන්ගොඩ සමඟ කළ සාකච්ඡාවක දී මේ පිළිබඳව බීබීසීය විමසීමක් කළේ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්. මේ ඔහු දුන් පිළිතුරු.

මෙම පනත අවශ්‍ය ඇයි?

‘ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවය තමයි තොරතුරු දැන ගැනීමේ පනත. තමන්ව පාලනය කරන දේ සහ වටපිටාව ගැන තොරතුරු සියල්ල දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබිය යුතුයි.’

වැදගත් වන්නේ මාධ්‍යවේදීන්ට පමණද?

‘කොහෙත්ම නැහැ. අපි හිතමූ මම සිටින පළාතේ පාරක් හදනවා. මේකෙදී කොපමණ මුදලක් වියදම් කලාද? ටෙන්ඩර් කැඳවීමක් කලාද? ඒ දේවල් දැනගැනීමේ අයිතියක් මට තියෙනවා බදු ගෙවන පුරවැසියෙක් හැටියට. මගේ සල්ලි කොහොමද මේ පාලකයෝ වියදම් කරන්නේ කියල දැන ගන්න මට අයිතියක් තියෙනවා. ඇතැම් විට මාධ්‍ය පවා ඇතැම් තොරතුරු වසන් කරනවා. ඒ වගේ වෙලාවක තනි තනි පුද්ගලයන්ට පවා අයිතියක් ලැබෙනවා සත්‍ය තොරතුරු දැන ගන්න.’

රාජ්‍ය අංශයෙන් පමණද?

‘පෞද්ගලික අංශයටත් මේක අදාලයි. අපේ පළාතේ කුණු එකතු කරන්නේ පෞද්ගලික අංශයෙන්. නගර සභාවෙන් නෙවෙයි. මට අයිතියක් ලැබෙනවා මේ ව්‍යාපාරිකයා කොපමණ මුදලක් ඇය කරනවද? ඒ මුදලට නිසි සේවය ලැබෙනවද? කියල සොයා ගන්න.’

කලාපීය තත්වය කොහොමද?

‘දකුණු ආසියාව ගත්තොත් ඉන්දියාවේ මේ පනත තියෙනවා. බංග්ලාදේශයේ තියෙනවා. නේපාලයේ පකිස්තානයේ භුටානයේ පවා තියෙනවා.’

ලංකාවේ දේශපාලනඥයන් පමා වුණේ ඇයි?

‘හේතුව තමයි වහන්නට බොහෝ දේවල් ඔවුන්ට තිබීම. කොමිස් පිළිබඳව ගසා කෑම පිළිබඳව තොරතුරු වසන් කිරීම තමයි ඔවුන්ගේ දේශපාලනය වෙලා තිබුණේ.’

දියුණු රටවල ප්‍රමිතියම ලංකාවේ පනතට තිබෙනවද?

‘ඇත්ත වශයෙන්ම ඒ සියලු දේවල් මේකේ නැහැ. අපි උත්සාහ කළා බොහෝ දේ ඇතුල් කරන්න. නමුත් නීතිපතිවරයාට ගියාට පස්සේ සම්මත වෙන පනත තුළ තියෙන්නේ මොනවද කියල අපි තාම දන්නේ නැහැ.’

සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටය අමුණා ඇත.