අයවැය මුල් කර ගනිමින් ටීඑන්ඒ මතභේදයක්

Image copyright Getty
Image caption ආණ්ඩුව සමඟ සම්බන්ධතා බිඳ දැමීමට මේ මොහොතේ තමන්ට හැකියාවක් නොමැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ

අය වැය යෝජනා විවේචනය කළ නමුත් විවේචනය කිරීම යනු විරුද්ධව ඡන්දය දීම නොවන බව පවසන විපක්ෂනායක ආර් සම්බන්ධයෙන් ආණ්ඩුවේ අයවැයට සහාය දීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.

දීර්ඝ කාලයකට පසුව දෙමළ ජාතික සන්ධානය අය වැයට පක්ෂව ඡන්දය භාවිත කළේ මේ වසරේ බවද විපක්‍ෂනායකවරයා පැවසීය.

දෙමළ ජනතාව සන්සුන්ව සහ පරිනතව හැසිරීමට සූදානම් බව ලෝකයට දැනුම් දිය යුතු බව සඳහන් කළ විපක්ෂ නායකවරයා තමන් ඉදිරියේ දිගු ගමනක් තිබෙන බව කියා සිටියේ මඩකලපුවේ පැවති ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ රැස්වීමක් අමතමින්.

එබැවින් ආණ්ඩුව සමඟ සම්බන්ධතා බිඳ දැමීමට මේ මොහොතේ තමන්ට හැකියාවක් නොමැති බවයි විපක්ෂනායක වරයා පෙන්වා දෙන්නේ.

Image copyright Getty
Image caption ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවේ පසු වන දෙමළ සිරකරුවන් නිදහස් කිරීමට හෝ පුනරුත්තාපනය කිරීමට රජය කඩිනම් පියවර නොගැනීම හේතුවෙන් ඊට ප්‍රතිචාර වශයෙන් අයවැයට පක්ෂව ඡන්දය ලබා නොදීමට තීරණය කළ බවයි ටෙලෝ සංවිධානයේ එම්කේ ශිවාජිලිංගම් පවසන්නේ

මේ අතර අයවැය තෙවන වර කියවීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පාර්ශවයක් වන ටෙලෝ සංවිධානය පවසයි.

අයවැය දෙවන වර කියවීමේදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊපීආර්එල්එෆ් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවේ පසු වන දෙමළ සිරකරුවන් නිදහස් කිරීමට හෝ පුනරුත්ථාපනය කිරීමට රජය කඩිනම් පියවර නොගැනීම හේතුවෙන් අයවැයට පක්ෂව ඡන්දය ලබා නොදීමට තීරණය කළ බවයි, ටෙලෝ සංවිධානයේ නියෝජ්‍ය නායක එම්කේ සිවාජිලිංගම් පළාත් සභා මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන අනෙකුත් පක්ෂ හා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇත්දැයි යන්න පිළිබඳ සංදේශය එහිදී පළාත් සභා මන්ත්‍රීවරයාට යොමු කළ ප්‍රශ්නයක්.

"නෑ, ටෙලෝ සංවිධානය වශයෙන් අපේ පක්ෂය මේ සම්බන්ධයෙන් තීරණයක් අරන් ඉන්නේ. ඒ තීන්දුව සන්ධානය ඇතුලේ ඉන්න අනෙක් පක්ෂවලටත් දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ගරු සම්බන්ධන් මහත්මයටත් ඒක දැනුම් දෙනවා," ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර