ගල් ගසා මරා දැමීමේ නඩුව 'යළි විභාගයට'

Image copyright HARSHA DE SILVA

සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමේ දඬුවමට නියමව සිටි ශ්‍රීලාංකික කාන්තාව සම්බන්ධයෙන් වන නඩුව යළි විභාග කිරීමට සෞදි රජය එකඟ වූ බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවට දැනුම් දුන්ණේය.

අනියම් ලිංගික ඇසුරක් පැවැත්වූ බවට එල්ල වූ චෝදනා මත සවුදි අධිකරණයක් මගින් මෙම දඬුවම පැනවුයේ පසුගිය අගෝස්තු මාසයේදීයි.

කාන්තාව විවාහක කාන්තාවක් වීම හේතුවෙන් ඇයව ගල් ගසා මරා දැමීමට නියම වූ අතර පුරුෂයා විවාහක අයෙක් නොවීම නිසා ඔහුට කස පහර සියයක් නියම විය.

මෙම තීන්දුවට එරෙහිව කොළඹදී විරෝධතා ගණනාවක්ම පැවති අතර මෙම දඬුවමට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස රජයට ද දැඩි බලපෑම් එල්ල විය.

"අපේ මැදිහත් වීම මත නීතිඥයන්ගේ උපදෙස් මත නැවතත් මෙම නඩුව විවෘත කරන්න තීරණය කරලා තියෙනවා, එක අපේ ජයග්‍රහණයක්. සියළුම වියදම් විදේශ අමාත්‍යංශය දරමින්, නීති සහය ලබා දෙමින් ඇය බේරා ගැනීමට කල හැකි සියල්ල අපි සිදු කරනවා" නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පැවසීය.

Image copyright AFP

සවුදි අරාබියේ සිටින ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් පසුගිය ඉරිදා දින, ඉහත කී කාන්තාව කාන්තාව බැලීම සඳහා ඇය රඳවා තබා තිබෙන හිර ගෙදරට ගොස් ඇති අතර ඇය ඉතා හොද සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවයි එම නිලධාරීන් විදේශ අමාත්‍යංශයට දන්වා තිබෙන්නේ.

මේ අතර මෙම සිද්ධිය ගැන ඊයේ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රකාශ කළේ 2014 අප්‍රේල් මාසයේ මෙම කාන්තාව අත්අඩංගුවට පත්වී 2015 අගෝස්තු ඇයට දඬුවම් හිමි වීම දක්වා මේ නඩුව පිලිබදව ශ්‍රී ලංකා රජය හෝ තානාපති අංශ දැනුවත් වී නොසිටි බවයි.

"ඉස්ලාම් ෂරියා නිතිය අනුව වැදගත් මුස්ලිම්වරු 4 දෙනකගේ ඇසින් දුටු සාක්ෂි ඕනේ මේ දඬුවම දෙන්න, එහෙම සාක්ෂි මෙතන නැහැ, අවාසනාවට මෙම දඬුවම පිලිබදව නොදැනුවත්ව නීතිමය සහයක් නොමැතිව ඇය වරද පිළිගෙන තිබෙනවා"

ඇයව බේරා ගැනීමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගැනීමට රජය සුදානම් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.