වවුචර ක්‍රමය නැවත්වීමට ක්‍රියා කරනවා -ගුරු සංගමය

මේ වසරේ සිට පාසල් නිල ඇඳුම් සඳහා නිකුත් කර ඇති මුදල් වවුචරය ඉදිරි අවුරුදුවලදී ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට ඉඩ නොදෙන බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට අදාලව ඉදිරි සාකච්ඡා පවත්වන බවත් ඒ අනුව මෙම වවුචර් ක්‍රමය නැවැත්වීමට ක්‍රියාත්මක කළ හැකි සියලු පියවර ගන්නා බවත්ය.

නිදහස් අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් වූ අවස්ථාවක් වත්මන් යහපාලන ආණ්ඩුව උදුරා ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ චෝදානාව වන්නේය.

විදුහල්පතිවරයෙකු වශයෙන් වෘත්තියේ නියුතු පරාක්‍රම වීරසිංහ ප්‍රකාශ කළේ වසර අවසානයේ සිසුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සමස්ත ඇගයීම් හා නිරීක්ෂණ දෙමව්පියන් සමග සාකච්ඡා කිරීමට ඇති අවස්ථා වවුචර අත්සන් තැබීමට වැය වූ කාලය හේතුවෙන් වැළකුණු බවයි.

Image copyright Getty

මෙය සම්පූර්ණයෙන්ම දරුවන්ගේත් ගුරුවරුන්ගේ හා පාසල් කාර්ය මණ්ඩලවල කාලය නාස්ති කරන ක්‍රියාවක් වන බව හෙතෙම පැවසීය.

මේ අතරතුර ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ වවුචර ක්‍රමයට සහයෝගය නොදෙන විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට එරෙහිව විනයානුකුල පියවර ගැනීමට සලකා බලමින් සිටින බව අධ්‍යාපන ඇමතිවරයා පැවසු බවයි.

කොළඹ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකුගේ පියෙකු වන සමන් නන්දන මහතා පැවසුවේ නිල ඇඳුම් වවුචරය වෙනුවට රෙදි දෙන්නේ නම් තමන් කැමති බවය.

පාසල්වල වසර අවසානයේදී පවත්වන නියමිතව තිබූ ගුරු දෙගුරු රැස්වීම් පවා වවුචර් ලබා දීමේ වැඩසටහන් හේතුවෙන් මෙවර නොපැවැත්වුණු බව ඔහුගේ අදහස විය.

ජා-ඇල ප්‍රදේශයේ පියෙකු වන කැනිස්ටස් පෙරේරා ප්‍රකාශ කළේ නිල ඇඳුම් වවුචරය ගැනීමට යාමට තමන්ට නොහැකි වූ බවත් ත්‍රීරෝද රථ රියදුරෙකු වන තමන්ගේත් සිය පවුලේත් දෛනික ආදායම වවුචරය ගැනීමට ගියේ නම් අහිමි වීමට ඉඩ තිබූ බවත්ය.

ගුරුවරුන්ද වවුචර් ක්‍රමය අසීරු බැව් මැසිවිලි නගන බවත් රුපියල් 1500ක පමණ වටිනාකමක් ඇති නිල ඇඳුම් රෙදි මීට පෙර ක්‍රියාත්මක ක්‍රමයේදී ක්‍රියාත්මක වූ බව හෙතෙම කීය.

වවුචර් ක්‍රමයෙන් ඉතුරුවක් නොව රස්තියාදුවක් පමණක් සිදු වන බව හෙතෙම කීය.