ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කුසල් ජනිත් බේරෙයි ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරාගේ සිරුරට නොදැනුවත්ව හෝ තහනම් උත්තේජන ශරීර ගත වී ඇත්නම් අවම දඬුවමක් හෝ ලැබිය හැකි බව ශ්‍රී ලංකා තහනම් උත්තේජන මර්දන නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම ප්‍රකාශ කරයි.

තහනම් උත්තේජන ශරීර ගත වීමේ චෝදනා මත ඔහු තාවකාලික තරග තහනමකට ලක්ව සිටී.

ලෝක තහනම් උත්තේජන මර්දන ආයතනයේ නීති රීතීන්ට අනුව ක්‍රීඩකයෙකුගේ ඇඟට ඇතුළු වන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් වගකීම ඇත්තේ ක්‍රීඩකයාට ම බව බීබීසි කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග සාකච්ඡාවකට එක් වෙමින් වෛද්‍ය සීවලී ජයවික්‍රම ප්‍රකාශ කළේය.

" තමාගේ ශරීරයට ඇතුළු වන සියළුම දේ ගැන ක්‍රීඩකයා වගකිවයුතුයි, ඉතින් දඬුවම් නොලැබී යන එක ගැන මට තියෙන්නේ ප්‍රශ්නාර්ථයක් අවම වශයෙන් වත් ලැබෙන්න පුළුවන්"

කුසල් ජනිත් පෙරේරාට තම මුත්‍රා සාම්පලයේ "බි" සාම්පලය පරීක්ෂා කිරීමට දින 7ක ඇතුළත ඉල්ලුම් කල හැකි බව ප්‍රකාශ කළ වෛද්‍ය සීවලී ජයවික්‍රම කෙසේ වෙතත් බොහෝ අවස්ථාවල එමගින් ප්‍රතිඵලය වෙනස් වීමේ අවස්ථාව අඩු බවත් පිළිගත්තේය

ලබා ගන්නා මුත්‍රා සාම්පලයේ බෝතල් දෙකක් ඇති බවත් ඉන් එක බෝතලයක් පරික්ෂා කර ඇති බව කියා සිටි ඔහු පැවසුවේ, කුසල් ජනිත්ට අනිත් සාම්පලය පරීක්‍ෂා කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.

"වෙනස් වෙන්නත් පුළුවන්, හැබැයි 90%-95% එකම දේ තමයි එන්නේ වෙනස් වෙන්නේ නැහැ, මොකද ඉතා උසස් පරීක්ෂණාගාරවල තමයි මේ පරීක්ෂණ කරන්නේ, වෙනස් වුනොත් එයාට නිදහස් වෙන්න පුළුවන්"

ලෝක තහනම් උත්තේජන මර්ධන ආයතනය මේ වසර මුල තම නීති රීති දැඩි කර තිබෙන අතර දැනුවත්ව තහනම් උත්තේජන ශරීර ගත වීමේ අවස්ථාවකදී වසර 4 ක තරඟ තහනමක් පැනවිය හැකි සේ නීති රීති වෙනස් කර තිබේ.

මෙම නව නීති අනුව කුසල් ජනිත් පෙරේරාට ද වසර 4 ක තරඟ තහනමක් පැනවිය හැකිදැ යි විමසු විට වෛද්‍ය සීවලී ජයවික්‍රම ප්‍රකාශ කළේ මෙම තහනම් උත්තේජන ගත්තේ දැනුවත්වද නොදනුවත්වද යන්න අනුව එම දඬුවම තීරණය වනු ඇති බවයි.

" විනය කමිටුව බලයි දැනුවත්ව ගත්තද නොදැනුවත්ව ගත්තද යන්න, ඒ අනුව එම කමිටුව තීරණය කරයි දඬුවම අඩුකරනවද නැද්ද කියලා"

සියළු ක්‍රීඩකයන් තමන් ගන්නා අහාර පාන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ප්‍රකාශ කළ වෛද්‍ය සීවලී ජයවික්‍රම විශේෂයෙන්ම ආදේශක වැනිදා භාවිතයේදී ක්‍රීඩකයන් සැලකිලිමත් විය යුතු බවයි සඳහන් කළේ.

"සමහරක් වෙලාවට ලේබල් එකේ තහනම් ද්‍රව්‍ය නැති වෙන්න පුළුවන් හැබැයි ඒවා මිශ්‍ර කරලා හදලා තියෙන්න පුළුවන්"

ක්‍රීඩකයන්ට මේ සම්බන්ධයෙන් ගැටළු ඇත්නම් ශ්‍රී ලංකා තහනම් උත්තේජන මර්දන නියෝජිත ආයතනය සමග සම්බන්ධ වී ඒවා නිරාකරණය කර ගත හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.