රට 'වනසන පෝට් සිටි වහා නවතනු'

Image copyright Getty
Image caption පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක ඇතුළත් විය යුතු මූලික විශ්ලේෂණයක්වත් අඩංගු නොවන මෙම වාර්තාව වැරදි සහගත වූවක් බවයි තිලක් කාරියවසම් පවසන්නේ

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට අදාළව මහජන අදහස් ලබා ගැනීම සඳහා අලුතින් ඉදිරිපත් කර ඇති පරිපූරක පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව නීතියට පටහැණි, පිළිගත නොහැකි අසම්පූර්ණ වාර්තාවක් බවට 'පෝර්ට් සිටි' විරෝධි ජනතා ව්‍යාපාරය චෝදනා කරයි.

එම සංවිධානයේ සමකැඳවුම්කරු, ශ්‍රී ලංකා සොබා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම් ඒ බව ප්‍රකාශ කළේ 'පෝර්ට් සිටි' ව්‍යාපෘතියට අදාළ ව අලුතින් ඉදිරිපත් කෙරුණු පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක ඇතුළත් විය යුතු මූලික විශ්ලේෂණයක්වත් අඩංගු නොවන මෙම වාර්තාව වැරදි සහගත වූවක් බවයි තිලක් කාරියවසම් පවසන්නේ.

'අලුතින් ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාවේ අඩුපාඩු 110කට වැඩි ප්‍රමාණයක් දැනටමත් අපේ නිරික්ෂණයට හසු ව තිබෙනවා. ඒ සඳහා ඇතුළත් විය යුතු සංශෝධන දැනටමත් අප සකස් කරමින් සිටිනවා. එම සංශෝධන ඉදිරියේ දී ඉදිරිපත් කිරීම අපේ බලාපොරොත්තුවයි' ඔහු කියා සිටියේ ය.

මහජන අදහස්

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබා දෙන පූර්ණ පාරිසරික වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු යළි ආරම්භ කිරීම පිළිබඳ සලකා බැලීමට තීරණය කිරීමෙන් අනතුරුව එම ව්‍යාපෘතියේ කටයුතු පසුගිය මාර්තු මාසායේ දී තාවකාලික ව අත්හිටැවිණි.

'පෝර්ට් සිටි' ව්‍යාපෘතියට අදාළ ව මහජන අදහස් ලබා ගැනීම සඳහා පරිපූරක පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් නැවත කැඳවීමට කටයුතු යෙදුණේ ඉන් අනතුරුවයි.

එම වාර්තාව පසුගියදා එළි දුටු අතර ඒ සම්බන්ධයෙන් මහජන අදහස් පළ කිරීම සඳහා දෙසැම්බර් 1 වැනි දා සිට 30 වැනි දා දක්වා කාලසීමාවක් ලබා දී තිබේ.

'පෝර්ට් සිටි' ව්‍යාපෘතිය පවත්වා ගෙන යාම පිණිස මුහුද ගොඩ කිරීම හා වැලි හෑරීම යන ප්‍රධාන කාර්යයන් දෙක මූලිකව සිදු කළ යුතු වන අතර මුහුද හෑරීමේ බලය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු නමුත් මුහුද ගොඩ කිරීමේ බලය ඔවුන් සතු නොවන බවද තිලක් කාරියවසම් මෙහිදී අවධාරණය කළේ ය.එම අයිතිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වන්නක් බවයි ඔහු කියා සිටියේ.

'අහිතකර බලපෑම්'

අදාළ ව්‍යාපෘතියේ දී වැලි හෑරීම හා මුහුද ගොඩ කිරීම සම්බන්ධ තාක්ෂණික උපදෙස් සැපයීම මධ්‍යම පරිසර අධිකාරිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ යුත්තක් වුවත් මෙහිදී තාක්ෂණික දායකත්වය හා උපදෙස් සැපයීම සිදු කෙරෙන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පමණක් වීම ද 'පෝර්ට් සිටි' ව්‍යාපෘතියේ අහිතකර පාරිසරික බලපෑම් ඉස්මතු වීම සඳහා දායක වන කරුණක් බව ද කාරියවසම් සඳහන් කළේය.

Image copyright Getty

'ගියවර 'පෝර්ට් සිටි' ව්‍යාපෘතිය වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු පාරිසරික ඇගයීම් වාර්තාවේ එහි ව්‍යාපෘති යෝජක ලෙස සටහන්ව තිබුණේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි. මෙවර එහි යෝජකයා ලෙස මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය නම් තොට තිබෙනවා. පවතින නීතිමය හා ප්‍රතිපත්තිමය තත්වයන් මත මෙවන් ව්‍යාපෘතියක් සඳහා අමාත්‍යංශයට මැදිහත්වීම පිණිස ප්‍රතිපාදන සැලසෙන්නේ නෑ. එය නීති විරෝධි තත්ත්වයත්'

අදාළ ව්‍යාපෘතිය සඳහා වැලි ලබා ගන්නා හැඳල සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ වර්ග කිලෝමීටර 100 ක ප්‍රමාණයකින් වැලි ඝන මීටර මිලියන 65000ක් ලබා ගැනීමට යෝජි නමුත් උපරිම වශයෙන් එයින් ලබා ගත හැක්කේ වැලි ඝන මීටර් එක් ලක්ෂ දසදහසක් පමණක් බවත් පෙන්වා දෙන කාරියවසම් මේ සීමාව ඉක්මවා වැලි හෑරීම අදාළ මුහුදු තීරයේ බරපතළ පාරිසරික හානි හා වෙනස්කම් ඇතිවීමට දායක විය හැකි බවට ද අනතුරු අඟවයි.

'රැකියා අහිමි'

මෙම වැලි හෑරීම නිසා රජයට අහිමි වන ආදායම අදාළ වාර්තාවේ දක්වා ඇත්තේ ‍ඇමරිකානුඩොලර් බිලියන 5.5 ක් ලෙසින් වුව ද තම ගණනය කිරීම්වලට අනුව එය රුපියල් බිලියන 154 ද ඉක්මවන බව ඔහු කියා සිටියේ ය.

Image copyright defence.lk

'සමස්ත ව්‍යපෘතියේ වටිනාකම අමෙරිකා ඩොලර් බිලියන 1.4 ක්. එම වියදම සහ ව්‍යාපෘතිය සඳහා වුවමනා කළුගල් ප්‍රමාණයට වැය කළ යුතු මුදලත් ගෙන බලනවිට ව්‍යාපෘති වියදමට සමාන මුදලක් අපේ රටට මේ නිසා අහිමි වෙන සම්පත් සඳහා ද වෙන් කළ යුතු වෙනවා. මේ වෙරළ තීරයේ වැලි හෑරීම නිසා රැකියා අහිමි වන ධීවරයන් තිස් දහසකට වඩා සිටිනවා. වාර්තාවේ පැවසෙන්නේ ධීවරයන් නව දහසකට සහන සලසන බවයි. ඒ අයට ද සහන සලසන්නේ වසරකට මිලියන දහස බැගින් වසර පහක් පමණයි. එය කිසිසේත් ප්‍රමාණවත් කාල රාමුවක් නෙවේ යි ' පෝර්ට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරයේ සමකැඳවුම්කරු තිලක් කාරියවසම් පෙන්වා දෙයි.

අදාළ ගොඩකිරීම් සඳහා වැලි හෑරීම හැඳල සිට මීගමුව දක්වා සිදු කෙරුණ ද එහි අතුරු පල හලාවත දක්වා ම පැතිර යා හැකි බවත් මේ හේතුවෙන් දැනට දෙහිවල ගල්කිස්ස වැනි ප්‍රදේශවල සිදු වන මුහුදු ඛාදනය තවදුරටත් උග්‍ර විය හැකි බවටත් තාරියවසම් අනතුරු අඟවයි.

'හෙක්ටයාර 269ක්'

Image copyright Getty

මුහුද ගොඩ කිරීම සඳහා කළුගල් ලබා ගැනීම පිණිස ස්ථාන 11ක් හඳුනා ගෙන ඇති අතර විශාල වශයෙන් පුපුරණ ද්‍රව්‍ය භාවිතය, යාන්ත්‍රික කැණීම් ආදිය නිසා ඇතිවිය හැකි පාරිසරික බලපෑම් සම්බන්ධව මේ ඇගයුම් වාර්තාව ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැති බව ද මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කෙරිණි.

'පෝර්ට් සිටි' ව්‍යාපෘතිය වෙනුවෙන් යොදා ගන්නා බිම් ප්‍රමාණය පිළිබඳ පෙර ඇගයුම් වාර්තාවේ සඳහන්ව තිබුණේ හෙක්ටයාර 233ක් ලෙස වුව ද මෙවර එය හෙක්ටයාර 269ක් දක්වා වැඩි වී ඇතැයි ද මෙහි දී අදහස් දැක් වූ කථිකයෝ පෙන්වා දුන්හ.

සමස්ත ඇගයුම් වාර්තාව පිටු 444කින් සමන්විත වන බවත් එහි අඩංගු බොහෝ කරුණු සාමාන්‍ය ජනතාවට වටහා ගත නොහැකි තාක්ෂණික කරුණු බවත් මෙහිදී පෙන්වා දුන් කාරියවසම් අදාළ ව්‍යාපෘතිය පිළිබඳ ජනතාවට බලපාන ප්‍රධාන කාරණා පිළිබඳ සංක්ෂිප්තයක් පුවත්පත් දැන්වීමක් ලෙසවත් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව ද අවධාරණය කර සිටියේ ය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර