ජනපති කොමිසම විශ්වාස නෑ - ඥාතීන්

Image caption පුද්ගලයින් අතුරුදහන් කළ අය පිළිබඳ තොරතුරු කොමිසමට ඉදිරිපත් කොට ඇතත් මේ වනතුරු ඔවුන් අත් අඩංගුවට ගැනීමට හෝ නීති මගින් කටයුතු කිරීමට කොමිසම මැදිහත් වී නැතැයි චෝදනා කරණ සුන්දරම් මහේන්ද්‍රන්, කොමිසම විසින් ලබාගත් සාක්ෂි මත සාක්කිකරුවන්ට යම් සාධාරණයක් ඉටුවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව කියා සිටියේය

යුද සමයේ අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳව තොරතුරු සොයා බැලීම පිණිස පත් කොට තිබෙන විශේෂ ජනාධිපති කොමිසම කෙරෙහි කිසිදු විශ්වාසයක් නැතැයි කොමිසම හමුවේ සාක්ෂි දුන් යාපනයේ විශාල පිරිසක් කියා සිටියහ.

අතුරුදහන් වූ ඥාතීන් පිළිබඳව කොමිසම හමුවේ සාක්කි දුන් අවස්ථාවලදී අතුරුදහන්වීම් සනාථ කිරීම පිණිස අවශ්‍ය සියලු විස්තර මෙන්ම ඡායාරෑපත් ලබා දී ඇතත් එයට ප්‍රතිචාර වශයෙන් කොමිසමෙන් තමන්ට ලැබුනේ ලිපියක් පමණක් බව ඔවුහු පවසති.

මෙම ජනාධිපති කොමිසම කෙරෙහි විශ්වාසයක් තැබීමට නොහැකි සාධක බොහොමයක්ම තිබෙන බව යුද්ධයෙන් අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳව තොරතුරු සොයා බලන කමිටුවේ ලේකම් සුන්දරම් මහේන්ද්‍රන්ද පැවසීය.

පලමු හා දෙවන වටයේදී කොමිසම 22000 කගේ සාක්ෂි සටහන් කරගෙන ඇතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු වන්නේ 3800 කගේ සාක්කි පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පුද්ගලයින් අතුරුදහන් කළ අය පිළිබඳ තොරතුරු කොමිසමට ඉදිරිපත් කොට ඇතත් මේ වනතුරු ඔවුන් අත් අඩංගුවට ගැනීමට හෝ නීති මගින් කටයුතු කිරීමට කොමිසම මැදිහත් වී නැතැයි චෝදනා කරණ සුන්දරම් මහේන්ද්‍රන්, කොමිසම විසින් ලබාගත් සාක්ෂි මත සාක්කිකරුවන්ට යම් සාධාරණයක් ඉටුවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව කියා සිටියේය.

එබැවින් එය රටේ ජනතාවට හෝ රටටද කිසිදු යහපතක් නොවූ කොමිසමක් ලෙසයි ඔහු හඳුන්වා දෙන්නේ.

Image caption කිසිවකු කොමිසම හමුවේ සාක්ෂි දුන් පමණින් පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට නොහැකි බව පෙන්වා දුන් කොමිසමේ ලේකම් එච්ඩබ්ලිව් ගුණදාස, එය සිදුවන්නේ විශේෂ විමර්ශණ කොමිසමක් වෙත අදාල තොරතුරු ලබාදීමෙන් පසුව ඒ පිළිබඳව විමර්ශන පවත්වා ජනාධිපති කොමිසමේ නිර්දේශයන් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව බවද කියා සිටියේය.

කෙසේ නමුත් සාක්කිකරුවන් පන්දහසකට වඩා ගතවූ කාලය තුළ කොමිසම මගින් සහන සලසා තිබෙන බව කොමිසමේ ලේකම් එච්ඩබ්ලිව් ගුණදාස පවසයි.

සංඛ්‍යා ලේඛනවලට අනුව පැමිණිලි වලින් 38% කට සහන සැලසී ඇති බව පවසන ලේකම්වරයා මෙම කොමිසම අතුරුදහන් වූවන් පිළිබඳවම පමණක් සොයා බලන කොමිසමක් නොවන වගද සඳහන් කළේය.

මරණ සහතික නොමැති අයට මරණ සහතික ලබාදීම පිණිස ප්‍රදේශීය ලේකම්වරුන් දැණුවත් කළ අතර, මරණ සහතික ඇති අයට මරණයක් වෙණුවෙන් රුපියල් ලක්ෂයක් දක්වා වන්දි ලබාදීමට නිර්දේශ කළ බවද ලේකම්වරයා පැවසීය.

මීට අමතරව අසාධාරණයට ලක්වූ සාක්කිකරුවන්ට නිවාස ආධාර ලබාදීම, ජීවත්වීමට සහන සැලසීම, වෘත්තීය පුහුණු අවස්ථා සැලසීම, අධ්‍යාපන හා සෞඛ්‍ය ආධාර සැපයීම වැනි සහනද කොමිසමේ කාර්යයන් වශයෙන් නිර්දේශ කොට ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.

කිසිවකු කොමිසම හමුවේ සාක්ෂි දුන් පමණින් පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට නොහැකි බව පෙන්වා දුන් කොමිසමේ ලේකම් එච්ඩබ්ලිව් ගුණදාස, එය සිදුවන්නේ විශේෂ විමර්ශණ කොමිසමක් වෙත අදාල තොරතුරු ලබාදීමෙන් පසුව ඒ පිළිබඳව විමර්ශන පවත්වා ජනාධිපති කොමිසමේ නිර්දේශයන් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව බවද කියා සිටියේය.

විශේෂ ජනාධිපති කොමිසම ලබන 22 වෙනිදා දක්වා යාපනයේදී රැස්වී එම ප්‍රදේශවල ජනතාවගෙන් සාක්ෂි ලබාගැනීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර