චෙන්නායි ගංවතුර: පාසල් යළි විවෘත වේ

Image copyright imran qureshi bbc
Image caption ගංවතුරට හසු වූ 280 දෙනකුවත් මරුමුවට පත් වූ අතර, ප්‍රාන්තයේ සියලු කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය

මාසයක් මුළුල්ලේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව සහ භයානක ගංවතුර හේතුවෙන් වසා දමා තිබුණු තමිල්නාඩුවේ චෙන්නායි අගනුවර පාසල් සඳුදා යළි විවෘත කෙරිණ.

බරපතල ගංවතුර හේතුවෙන් චෙන්නායි නුවර සහ අසල්වැසි දිස්ත්‍රික්කවල පාසල් වසා දමන මෙන් පසුගිය නොවැම්බර් 12 වැනි දින නියෝග කෙරිණ.

ගංවතුරට හසු වූ 280 දෙනකුවත් මරුමුවට පත් වූ අතර, ප්‍රාන්තයේ සියලු කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය.

චෙන්නායි නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොලද දින හයක් මුළුල්ලේ වසා දමා තිබිණ.

Image caption ගංවතුර බසයාමත සමඟ පිරිසිදු කිරීමේ දැවැන්ත මෙහෙයුමක්

ගංවතුර හේතුවෙන් පාසල්වල වාරාවසාන විභාග කල් දැමුණු අතර, ඉන්දියාවේ පැරණිතම සරසවියක් වන චෙන්නායි විශ්ව විද්‍යාලයේ විභාගද කල් දැමිණ.

වර්ෂාව නැවතී දැන් ගංවතුර බැසයමින් පවතින බැවින්, නගරය යළි ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් පවතින අතරවාරයේ, පිරිසිදු කිරීමේ දැවැන්ත මෙහෙයුමක් අරඹා තිබේ.

සියවසක් ඇතුළත

සියවසක් ඇතුළත තමිල්නාඩුවට ඇදහැලුණු ධාරානිපාතම වර්ෂාවට හේතුව මිහිතලය රත්වීම බව විශේෂඥයන්ගේ මතයයි.

මේ අතර ඉරිදා තමිල්නාඩුවේ සංචාරයක නිරත වූ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ නගර සංවර්ධන අමාත්‍ය වෙන්ගයිය්යා නායිදු, ජලාශ්‍ර ආශ්‍රිත ප්‍රදේශවල අනවසර ඉදිකිරීම් ඉවත් කරන මෙන් මහ ඇමතිනී ජයරාම් ජයලලිතාට දැනුම් දී තිබේ.

එම ඉඩම් සියල්ල බලහත්කාරයෙන් අත්පත් කරගන්නා ලද ඉඩම් බවත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

අදාළ ඉදිකිරීම් ඉවත් නොකරන්නේ නම් යළිත් වරක් මෙවැනි අනතුරක් ඇතිවිය හැකි බවටත් අමාත්‍ය වෙන්ගයිය්යා නායිදු ඇඟවීය.