කාන්තා ඝාතන හයකට එක් අයෙකුගේ ඩීඑන්ඒ ගැලපේ

Image copyright AjithLal Shantha Udaya

කහවත්ත පොලිස් වසමේ කොටකෙතන, දිඹුල්වල, ඕපාත, නිලදුරේ, වරාපිටිය, ආදී ගම්මාන ආශ්‍රිතව වසර කිහිපයක් තිස්සේ සිදුවූ කාන්තා ඝාතන දහනවයකින් හයක් සම්බන්ධයෙන් එකම පුද්ගලයෙකුගේ ඩිඑන්ඒ වාර්තා ගැලපෙන බව පරීක්ෂණවලින් හෙළි වෙයි.

බොරැල්ල ජින්ටෙක් ආයතනය මේ බව තහවුරු කර ඇති බව රහස් පොලිසිය අද, අඟහරුවාදා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් වරයාට දැනුම් දුන්නේය.

පසුගිය 11දා අත්අඩංගුවට ගනු ලැබූ කොටකෙතන පදිංචි නීල් ලක්ෂ්මන් නැමැති තිස් පස් හැවිරිදි පුද්ගලයාගේ ඩීඑන්ඒ මෙසේ ගැලපෙන බවයි එම තැනැත්තා අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිස් නිලධාරීන් දන්වා සිටියේ.

ඒ අනුව එම සැකකරු මේ මස 29 දින දක්වා තවදුරටත් රිමාන්ඩ්බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කලේය.

මේ වසරේ සැප්තැම්බර් මාසයේ ඕපාත වත්තේ තේ දලු නෙළමින් සිට වරුවක් වැඩ කර නිවසට පැමිණෙන්නට ආ ඕපාත වත්තේ පදිංචි නාදන් පාප්පු නැමැති දෙදරු මවක් මහ දවල් කපා කොටා මරා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය ඇගේ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරු සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණයට පැවසුවේය.

දෙදහස් දොළහ වසරේ මැයි මාසයේ ඝාතනයට ලක්වූ සේතුංගගේ දයාවතී සහ සේතුංගගේ තිලකාවති යන සොහොයුරියන් දෙදෙනාගේ, ඒ .එල්. ප්‍රේමාවතී සහ පුෂ්පා කුමාරි යන මව සහ දියණියගේ මෙන්ම, එස්.එම්. ඩිංගිරිමැනිකේ සහ සිරිවර්ධන මැනිකේ යන කාන්තාවන් හය දෙනාගේ ඩීඑන්ඒ, සැකකරුගේ ඩිඑන්ඒ හා සැසඳෙන බව ජින්ටෙක් ආයතනය දන්වා ඇති බව එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

ඝාතනයට ලක්වූ මෙම කාන්තාවන් හය දෙනාම දුෂණයට ලක්ව තිබු බවත් ඔවුන්ගේ යෝනිවලින් ගත් ඩීඑන්ඒ රටා සැකකරුගේ ඩිඑන්ඒ රටා සමග ගැලපෙන බවත් ජින්ටෙක් ආයතනය දන්වා ඇති බවද රහස් පොලීසිය අධිකරණයට පැවසුවේය.

Image copyright AjithLal Shantha Udaya

අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු විශේෂ පොලිස් ආරක්ෂාව මත එම ඝාතන සිදුවූ ස්ථාන නිරීක්ෂණයට රැගෙන ගිය බවද රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

නාදන් පාප්පු නැමැති කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත්ත ද ඇගේ ඩීඑන්ඒ හා සැකකරුගේ ඩිඑන්ඒ සැදෙන්නේ ද යන්න තවම දන්වා නැති බව ද ඒ සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කරන බවද රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මේ වන විටත් මෙම ගම්මාන ආශ්‍රිතව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.

කොටකෙතන ගමේ විශේෂ පොලිස් මුර පොළක් ද ස්ථාපිත කර ඇත්තේ වසර කිහිපයකට පෙරයි. ඊට පසුද මෙම ගම්මාන වල අබිරහස් ඝාතන සිදු විය.

ගත වූ අට වසරක කාලය තුල ඉහත ගම්මාන ආශ්‍රිතව පිරිමින් හය දෙනෙක් ද අබිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇතත් ඔවුන් ගැන පරීක්ෂණ යටපත්ව ඇතැයි ගම්වැසියෝ කියති.

එසේ ඝාතනයට ලක්ව තිබුණේ අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ කාන්තාවන්ගේ ඝාතන සම්බන්ධයෙන් සැක පිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් කිහිප දෙනෙකු බවද ප්‍රදේශවාසීහු පවසති. එක් පුද්ගලයෙකු සිය දිවි හානි කර ගත් බවද ගම්වාසීහු පවසති.

එසේම ඩීඑන්ඒ වාර්තා සැසඳුණ කාන්තාවන් කිහිප දෙනෙකුගේම ඝාතන සම්බන්ධයෙන් ද පුද්ගලයන් කිහිප දෙනෙකු පොලීසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම අභිරහස් කාන්තා මිනිස් ඝාතන නිසා කොටකෙතන, වරාපිටිය, නිලදුරේ, දිඹුල්වල, ඕපාත ආදී ගම්වල ජනතාව තවමත් ජිවත් වන්නේ බියෙන් හා සැකයෙන්. සමහරු ගෙවල් දොරවල් හැර ගොස් සිටිති. හිරු බැස යන්නට පෙර නිවෙස්වලට වි රැය පහන් කරන්නට ගම්වාසීහු පුරුදුව සිටිති.