'මාලඹේ ' ප්‍රශ්නය අධිකරණය සමඟ බේරා ගත යුතුයි - රාජිත

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල් තුළ සායනික පුහුණුව ලබා දීමට ගත් තීරණය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ගැට‍ළුවක් ඇත්නම් එය අධිකරණය සමග බේරා ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

අධිකරණ කටයුත්තක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් දක්වන විරෝධය ගැන බීබීසිය කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයාගෙන් විමසු අවස්ථාවේදීයි අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ.

" අධිකරණ කටයුත්තක් සාකච්ඡා කරන්න විවේචනය කරන්න පාර්ලිමේන්තුවටවත් අයිතියක් නැහැ, එහෙනම් කොහොමද එහෙම අයිතියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තියෙන්නේ,”

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල් තුළ සායනික පුහුණුව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟත්වය පල නොකළේ නම් අධිකරණයට අපහාස කළ චෝදනාවලට තමන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලක් වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

" මේක අධිකරණ කටයුත්තක්, මින් පෙර එකඟතා ඉටුනොකිරීම පිළිබඳව සිසුන් අපට එරෙහිව අධිකරණයට අපහාස කල බවට චෝදනා කර තිබුණා, ඒ අනුවයි අපි නීතිපතිතුමත් සමග සාකච්ඡා කරලා ඒ තීරණය අධිකරණයට දැනුම් දුන්නේ”

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා අනිකුත් පිරිස් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමේ දී ඊට විරෝධය නොදැක්වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නිසා දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

" ඒකත් සල්ලි ගන්න පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක්, ඒකට විරෝධයක් නැහැ, ඇයි ඒක ආරම්භ කලේ ගොඨාභය රාජපක්ෂ නිසා වෙන්න ඇති"

දෙබිඩි ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වන පිරිස් විදේශ රටවල්වල අධ්‍යාපනය ලබා වෛද්‍ය උපාධි ලබාගෙන පැමිණෙන පුද්ගලයන් පිළිගැනීමෙන් පෙනෙන්නේ ඔවුන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය බවයි අමාත්‍යවරයා පැවසුවේ.

"විදේශ රටවල බංගලාදේශයේ පවා ගිහින් ඉගෙන ගෙන එන වෛද්‍ය උපාධි පිළිගන්නවා, එතකොට ඒ අයට z ලකුණු සුදුසුකම් තිබුණද ?"

සෞඛ්‍යය අමාත්‍යංශය ගෙන ඇති තීරණවලට තම සංගමය දක්වන ප්‍රතිචාරය ලබන 18 වැනිදා කැඳවන විශේෂ මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.