රේගු වර්ජනයෙන් කටුනායක ගුවන් ගමන්වලට බාධා

Image copyright Getty
Image caption වර්ජනය හේතුවෙන් ලන්ඩන්, ලාහෝර්, බීජිං සහ සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතව තිබූ සිය ගුවන් ගමන් ප්‍රමාද වූ බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කළේ

රේගු නිලධාරීන් විසින් දියත් කරන ලද වැඩ වර්ජනයක් හේතුවෙන් අද (16) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ඇතුළු සෙසු කාර්යයන්ට බාධා විදු විය.

රැකියාවට වාර්තා කරන සහ වැඩ මුරය අවසන් වී පිටව යන රේගු නිලධාරීන්ගේ ගමන් මළු දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට ගුවන් තොටුපල ආරක්ෂක අංශ ගත් තීරණයට විරෝධය පළ කරමිනුයි රේගු නිලධාරීන් විසින් හදිසියේ වර්ජනයක්ආරම්භ කර තිබුණේ.

ආරක්ෂක අංශ විසින් ගනු ලැබූ එම පියවර නිසා සිදු වන 'අපහසුතාවයන්ට' විරෝධය පළ කිරීම සඳහා හදිසි වර්ජනයකට ගිය බව රේගු නිලධාරීහු පවසති.

වර්ජනය හේතුවෙන් ලන්ඩන්, ලාහෝර්, බේජිං සහ සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතව තිබූ සිය ගුවන් ගමන් ප්‍රමාද වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කර තිබුණි.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද ,බදාදා උදෑසන දහයට පමණ ආරම්භ වූ මෙම වර්ජනය සවස දෙක පමණ තෙක් පැවති අතර ගුවන් තොටුපල බලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව රේගු නිලධාරීහු නැවත සේවයට වාර්තා කළහ.

ගුවන් තොටුපලේ කටයුතු දැන් සාමාන්‍ය ආකාරයෙන් සිදු වන බවයි එහි ප්‍රකාශකයෙක් බිබිසියට පැවසුවේ.