ශ්‍රී ලංකාවට ඔබාමා ගෙන් විශේෂ පණිවුඩයක්?

Image copyright EPA
Image caption සහකාර රාජ්‍ය ලේකම්වරිය ජනාධිපති ඔබාමාගේ විශේෂ පණිවුඩයක් රැගෙන පැමිණ ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි

ජිනීවා යෝජනාව ප්‍රකාර දේශීය යාන්ත්‍රණය පිහිටුවීම සහ ඉන්දීය සාගරයේ ආරක්ෂාව හා සම්බන්ධ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම දකුණු ආසියානු කටයුතු භාර ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල්ගේ සංචාරයේ අරමුණ බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා පවසයි.

ශිරාල් ලක්තිලක ඒ බව කියා සිටියේ සහකාර රාජ්‍ය ලේකම්වරිය ජනාධිපති ඔබාමාගේ විශේෂ පණිවුඩයක් රැගෙන පැමිණ ඇති බවට ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය පළ කර තිබුණු වාර්තාව පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

ජිනීවා යෝජනාව ප්‍රකාර දේශීය යාන්ත්‍රණය පිහිටුවීමේ ප්‍රමාදය පිළිබඳව ඇමෙරිකාවේ ප්‍රබල අවධානය පළ වී ඇති බවයි එහි සඳහන් වෙන්නේ.

ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම මීට ඉහතදී විවේචනයට ලක් කළ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එය විග්‍රහ කර තිබුනේ ශ්‍රී ලංකාවේ කෙරෙහි ඇමෙරිකානු අතපෙවීම් උත්සන්න කිරීමක් ලෙසින්.

Image copyright NewsFirst
Image caption 'ජිනීවා යෝජනාවේ කාල වකවානුවලට අනුකූලව දේශීය යාන්ත්‍රණය පිහිටුවීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ වගකීම'

කෙසේ නමුත් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර සම්බන්ධතා පසුගිය පරිපාලනය සමයේදීට වඩා වර්ධනය වී තිබීම මෙවැනි සංචාර වැඩිවීමට හේතුව බවයි ශිරාල් ලක්තිලක පවසන්නේ.

"එහෙම නැතුව සුවිශේෂී පණිවුඩ අරගෙන ඒමක් නෙවෙයි," ඔහු පැවසීය.

ජනාධිපති ඔබාමාගේ විශේෂ පණිවුඩය පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ: "සෑම රාජ්‍යතාන්ත්‍රික පණිවුඩයක්ම විශේෂ පණිවුඩයක්," බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවේ කාල වකවානුවලට අනුකූලව දේශීය යාන්ත්‍රණය පිහිටුවීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ වගකීම බවත් ඔහු පැවසීය.

"ඉතින් අර සියලු පස් මහ බැලුම් බලමින් තමයි එය සිදුකරන්න ඕන, එහෙම නැතුව ඇමෙරිකාවට හෝ වෙනත් රාජ්‍යයකට තියන හදිසිය මත නෙවෙයි කියන එක තමයි දේශපාලනික යතාර්ථය," ශිරාල් ලක්තිලක කියා සිටියේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක්වෙමින්.

Image copyright AFP
Image caption නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව සහකාර රාජ්‍ය ලේකම්වරිය කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කළාය

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එල්ල කරන චෝදනා ඔහු තරයේ ප්‍රතික්ෂේප කළේය.

නියෝජ්‍ය රාජ්‍ය ලේකම් පදවියට නම්කර සිටින තෝමස් ෂැනන් පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව නිශා බිස්වාල් ශ්‍රී ලංකාව පැමිණි තෙවැනි වතාව මෙයයි.

සහකාර රාජ්‍ය ලේකම්වරිය සිය සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතයි.

වැඩිදුර කරුණු විමසීම පිණිස නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර