යාපන ධීවරයන්ට ඉන්දීය ධීවරයන් 'පහර දීලා'

Image copyright AFP
Image caption ඉන්දීය ධීවරයන් පිරිසක් පහරදුන් බව උතුරේ ධීවරයෝ පවසති (සංරක්ෂිත ඡායාරූපයක්)

යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට මහමුහුද මැදදී පහර දුන් ඉන්දීය ධීවරයින් හතර දෙනකු ලබන මස 30 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය නියෝග කොට තිබේ.

නාවික හමුදාව විසින් එම ධීවරයන් පිරිස නාවික පසුගිය බ්‍රහස්පතින්දා අත් අඩංගුවට ගෙන තමන් වෙත භාරදුන් බවයි, යාපනයේ සහකාර ධීවර අධ්‍යක්ෂක බාලසුබ්‍රමනියම් රමේෂ්කන්නා බීබීසී යට කියා සිටියේ.

ඉන් අනතුරුව ඔවුන් පොලීසිය මාර්ගයෙන් කන්කසන්තුරය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරිණ.

බ්‍රහස්පතින්දා රාත්‍රී දහයට පමණ ට්‍රෝලර් යාත්‍රා විසිපහක් පමණ තමන්ගේ බෝට්ටු වට කළ බවයි, පහරකෑමට ලක්වූ ධීවරයින් අතර සිටි කදිරමලෙයි යෝගනාදන් පවසන්නේ.

විශාල අලාභයක්

නාවික හමුදාවේ බෝට්ටු යයි සැක සිතා තම බෝට්ටු වල සිට ආලෝක සංඥා නිකුත් කළත් එක්වරම වේගයෙන් පැමිණි යාත්‍රාවක් බෝට්ටු දෙකක හප්පවා ඉන්දීය ධීවරයින් පිරිසක් තම බෝට්ටුවලට ගොඩවූ බවත් ඔහු සඳහන් කළේය.

ඉන්දීය ධීවරයින් තමා සමග සිටි හතර දෙනෙකුට පහරදෙන විට සෙසු ධීවරයෝ මහ හඬින් කෑකෝ ගැසීම නිසා බෝට්ටුවල තිබූ දැල් විසිඅටක්ද රැගෙන ඔවුන් පලා ගොස් තිබේ.

ඒ අවස්ථාවේ එතනට පැමිණි නාවික හමුදාවේ පිරිසක් යාත්‍රාවකින් හඹාගොස් ඉන්දීය ධීවරයින්ගේ එක් ට්‍රෝලර් යාත්‍රාවක් සමග ධීවරයින් සිවුදෙනා අත්අඩංගුවට ගත් බවත් කදිරමලෙයි යෝගනාදන් සඳහන් කළේය.

මෙම ප්‍රහාරයෙන් කරෙයිනගර් ධීවරයින්ට රුපියල් දෙලක්ෂ පණස් දහසක පමණ අලාභයක් සිදුව ඇති බව යාපනයේ සහකාර ධීවර අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

ඉන්දීය ධීවරයින්ගේ මෙවැනි ක්‍රියා හේතුවෙන් යාපනයේ ධීවරයින්ට පමණක් මේ වසරේ රුපියල් මිලියන 3.73 ක අලාභයක් සිදුව ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.