මැණික් ගැරීම: විදේශිකයන් 'වංචනික උත්සාහයක'

Image copyright Getty

විදේශිකයන්ට මෙරට ඉඩම් මිලදී ගෙන මැණික් ගැරීම සිදු කිරීමට කිසිදු ආකාරයකින් බලපත්‍ර නිකුත් නොකරන බව ජනපතිවරයා ප්‍රකාශ කිරීමත් සමඟ සංවිධානගත වූ විදේශීය සමාගම් ශ්‍රී ලාංකිකයන් ගේ නම් ගම් උපයෝගී කර ගෙන අදාළ බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි ශ්‍රී ලංකා මැණික් හා ස්වර්‍ණාභරණ අධිකාරිය පවසයි.

ජනපතිවරයා ගේ ප්‍රකාශයෙන් පසු මෙරට ඉඩම් මිලදී ගෙන මැණික් ගැරීම සිදු කිරීම පිණිස විදේශිකයන් ගෙන් මේ වන විට අයදුම්පත් ඉදිරිපත් ව නැතත් රත්නපුර ප්‍රදේශයේ ඉඩම් නොවටනා මිල ගණන්වලට ලබා ගැනීමත් එම ඉඩම් සඳහා බලපත්‍ර ලබා ගැනීමේ අයදුම්පත් සිංහල නම්වලින් ඉදිරිපත්වීමත් මේ වනවිටත් සිදුවෙමින් පවතින බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි ව ඇති බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්‍ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර පවසයි.

‘මෙරට ඉඩම් මිලදී ගෙන මැණික් ගැරීමට අවසර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අනුගමනය කරන්නේත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ම බව අප පැහැදිලිව කිව යුතුයි. විෂයභාර ඇමතිවරයා ලෙස ජනපතිවරයා දේශීය සම්පත් රැක ගැනීම සඳහා ගෙන ඇති පියවරට අපගේත් උපරිම සහාය ලැබෙනවා. ශ්‍රී ලංකාවේ නීති රීති අනුව ඇතැම් විදේශිකයන් මිලදී ගෙන ඇති ඉඩම්වල මතුපිට අයිතිය පමණයි ඔවුනට ලැබෙන්නේ. එම ඉඩම්වල කැණීම් සිදු කිරීමට වුවමනා නම් අනිවාර්යයෙන් ම ඒ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතුයි. ඒ පිළිබඳ අවසන් තීරණය ගන්නේ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි.’ ඔහු ප්‍රකාශ කරයි.

Image copyright Nuwanasela Pilimatalawwe

විදේශීය සමාගම් හා පුද්ගලයන් මෙරට මැණික් ඉඩම් මිල දී ගැනීමට පෙළඹවීම පිටුපස ඇතැම් දේශීය ව්‍යාපාරිකයන් හා විවිධ පුද්ගලයන් සිටින බවට ද තොරතුරු අනාවරණය කර ගත හැකි වී යැයි පවසන සභාපතිවරයා එම ඉඩම් සඳහා ද බලපත්‍ර ලබා දීමේ දී දැඩි සැලකිල්ලකින් කරුණු සොයා බැලීමට හා කටයුතු කිරීමට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට මේ නිසා සිදු ව ඇතැයි අවධාරණය කරයි.

මෙලෙස ව්‍යාජ නම්වලින් හා වංචනික ලෙස බලපත්‍ර ලබා ගැනීමට අයදුම් පත්‍ර ඉදිරිපත් කරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කරන බව ද සභාපතිවරයා පවසයි.

විදේශිකයන්ට මෙරට ඉඩම් මිලදී ගෙන මැණික් ගැරීම සිදු කිරීමටත් මැණික් මිලදී ගැනීමටත් ඉඩ සලසා දීමේ යෝජනා වත්මන් ආණ්ඩුවේ අයවැයට ඇතුළත්ව තිබීම දේශිය මැණික් කර්මාන්තයෙන් යැපෙන ලක්ෂ විස්සකට ආසන්න පිරිසක ගේ ජීවනෝපායය අනතුරේ හෙළීමකැයි ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ සංවිධාන හා සංගම් පවසයි.

මෙරට මැණික් කර්මාන්තයට හා මැණික් වෙළෙඳපොළට පිවිසීමට විදේශිකයන්ට ඉඩ සලසා දීම පිණිස ගෙන එන මොනයම්ම හෝ යෝජනාවකට තමන් ගේ දැඩි විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා මැණික් ව්‍යාපාරිකයන් ගේ හා පතල්කරුවන් ගේ මහා සංගමයේ සභාපති සරත් ආනන්ද කියා සිටියි.

Image copyright Reuters

'මෙවර අය වැය යෝජනා සඳහා මෙවන් තීරණයක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දේශීය මැණික් කර්මාන්තයට අදාළ කිසිදු සංවිධානයකින් හෝ සංගමයකින් කිසිදු විමසීමක් කෙරුණේ නෑ. වසර දෙදහසකටත් වඩා වැඩි කලක සිට පැවත එන දේශීය සාම්ප්‍රදායික මැණික් කර්මාන්තය, විදේශීය සමාගම් මහා පරිමාණයෙන් මැණික් ගැරීමට පිවිසීම හේතුවෙන් කෙටිකලකින් ම වැනසී යාවි. දැනට සෘජුව ම මේ කර්මාන්තයෙන් යැපෙන පිරිස ලක්ෂ දහයකට වැඩියි. තවත් ලක්ෂ අටත් දහයත් අතර පිරිසක් මේ කර්මාන්තයෙන් වක්‍රව යැපෙනවා. විදේශිය සමාගම් මෙරට මැණික් කර්මාන්තයට මහා පරිමාණයෙන් පිවිසියොත් මේ පිරිසට මොකද වෙන්නේ?' යි සරත් ආනන්ද විමසයි.

වෙනත් රටවල මැණික් කර්මාන්තයට මහා පරිමාණයෙන් පිවිසීමට විදේශීය රටවලට අවස්ථාව ලබා දීමෙන් උදා වී ඇති අහිතකර ප්‍රතිපල පිළිබඳ බොහෝ උදාහරණ තම සංගමය සතු බවත් අප්‍රිකා රටවල් මේ සඳහා දිය හැකි හොඳ ම උදාහරණය බවත් සරත් ආනන්ද කියයි.

'සාම්ප්‍රදායික ආකාරයෙන් මැණික් කර්මාන්තයේ යෙදෙන බොහෝ රටවල ව්‍යාපාරික කටයුතුවලට මේ ආකාර වූ මහා පරිමාණ මැදිහත් වීම්වලින් සිදු වන්නේ එම රටවල සාම්ප්‍රදායික මැණික් කර්මාන්තය අභාවයට යාමයි. මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර භාවිත කර පතල් කපන මේ පිරිස් ලැබෙන මැණික් සියල්ල ඉදිරිපත් කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළටයි. දේශිය මැණික් වෙළෙඳපොළට ඉන් කිසිදු වාසියක් අත් වන්නේ නෑ. දේශීය මැණික් ව්‍යාපාරිකයාට ඉන් සෙතක් අත් වන්නේත් නෑ. අඩුම තරමින් දේශිය කම්කරුවකුටවත් මේ නිසා රැකියා අවස්ථාවක් හෝ වෙනත් කිසිදු ප්‍රතිලාභයක් අත් වන්නේ නෑ.' ඔහු පැවසීය.

දේශීය මැණික් ව්‍යාපාරය රැකගත යුතු බවත් විදේශිකයන්ට ඊට ඇතුළු වීමට ඉඩ සැලසීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය වහාම අහෝසි කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

විදේශිකයන්ට මෙරට ඉඩම් බදු දීමට හැකිවන පරිදි මෙරට ඉඩම් පිළිබඳ ඇති නීතිය වෙනස් කරමින් නව ඉඩම් පනතක් සඳහා වූ කෙටුම්පතක් සකසා ඇති බවත් එය නීතිපති අංශ වෙත යොමු කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය තොරතුරු වාර්තා කළ ද ඉඩම් අමාත්‍යංශයේ අතිරේක ලේසම් (ඉඩම්) එල්. බී. එස්. බී. දයාරත්න පවසන්නේ ඉඩම් පනත වෙනස් කිරීම සඳහා නීතිපති අංශ හා ඉඩම් අමාත්‍යංශය අතර එකඟතාවක් තව ම ඇති වී නොමැති බව ය.

Image copyright Sudath Silva President Media Unit

රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස මැණික් කර්මාන්තය සුරැකීම අරමුණු කර ගෙන විදේශීය සමාගම්වලට බලපත්‍ර නිකුත් නොකරන බව මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා ද පාර්ලිමේන්තුව පසුගිය දා අමතමින් පවසා සිටියේ ය.

දේශීය මැණික් කර්මාන්තයේ නිරතවීමට කිසිදු විදේශ සමාගමකට නව රජය බලපත‍්‍ර නිකුත් කර නොමැති බව මෙහිදී අවධාරණය කළ ජනපතිවරයා පරිසර අමාත්‍යවරයා ලෙස වැඩ භාරගනිමින් තමා සිදු කළ පළමු කාර්යය වූයේ පසුගිය රජය ඒ සඳහා විදේශ සමාගම් 04 කට ලබාදී තිබු බලපත‍්‍ර අවලංගු කර දැමීම බව ද කියා සිටියේ ය.

"ජනවාරි 8 වෙනිදා මැතිවරණයෙන් අපි ජයග්‍රහණය කළාට පස්සේ මේ අමාත්‍යංශය මා භාරගෙන කළ පළවෙනි කාර්යය තමයි විදේශීය සමාගම් 4 කට නිකුත් කරලා තිබුණු බලපත්‍ර 4ක් වහාම අවලංගු කිරීම. රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට ප්‍රධාන වශයෙන්ම මේ රටේ දේශීය මැණික් කර්මාන්තයේ කැණීම් සම්බන්ධයෙන් කිසියම් ආකාරයෙන් විදේශීය සමාගම්වලට අපි බලපත්‍ර නිකුත් කරන්නේ නැහැයි කියන එක පැහැදිලිව කියන්නට ඕනේ.’

විදේශීය ආයතනවල තාක්ෂණික දැනුම හා ශිල්පීය ඥානය අපේ මැණික් කර්මාන්තය සඳහා අවශ්‍ය වන බව පැවසූ ජනපතිවරයා මෙරට මැණික් කර්මාන්තයේ යෙදී සිටින අයට ඒ පිළිබඳ අවශ්‍ය පුහුණුව හා දැනුම ලබා දීමට කටයුතු කරන බව විශේෂයෙන් සඳහන් කළයුතු යැයි ද පැවසී ය.