‘උතුරේ කන්තෝරුවලින් සංහිඳියාව ඇති කරන්න බෑ’

උතුරේ දමිළ වැසියන් සහ දකුණේ සිංහල වැසියන් හැම දෙනාටම ඇත්තේ එකම ආර්ථික, සමාජ සහ සංස්කෘතික ගැටලු බව එකිනෙකාට අවබෝධ කිරීම තුළින් ජාතික සංහිඳියාවක් ඇති කළ හැකි බව උතුරේ දුෂ්කර ගම්වල අපහසුතා දහසක් මැද දිවි ගෙවන දමිළ ජනතාව පවසති.

උතුරේ යාපන අර්ධද්විපයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහළොවෙන් යාපනය නගරය හැරුණු කොට අන් සෑම දුෂ්කර ප්‍රදේශයකම පාහේ ජනතාවගේ ජීවන තත්ත්වය එකක් බව උතුරේ ගැමියන්ගේ මතයයි.

‘‘යාපනේ දේශපාලනය කරන අය ගමට එන්නේ ඡන්ද කාලෙට විතරයි. ඒ ඇවිත් කියන්නෙත් වෙනකාටවත් ඡන්දය දෙන්න එපා අපිට විතරක් ඡන්දය දෙන්න කියලා. ඒ අය ඡන්ද ලකුණ තමයි ප්‍රචාරය කරන්නේ. ජාතිය රකින්න, ජාතිය ගොඩ ගන්න කියලා ජනතාවට වෙනත් මතවාදයක් ඇති කරලා ඡන්දෙ අරගෙන යනවා. දිනුවට පස්සේ අපිට ඒ අය හොයා ගන්නවත් නෑ. ඒ වුනාට දකුණේ නම් දේශපාලකයෝ නමට හරි ඉන්නවා.’’ වේලනෙයි හි පදිංචි එස් බාස්කරන් තරුණයා පැවසුවේ ය.

උතුරේ දුෂ්කර ගම්වල වෙසෙන මේ වැසියන් පවසන්නේ පරිපාලන කටයුතු කරන දමිළ ජාතික රාජ්‍ය නිලධාරින්ගේ නිලධාරීවාදය හමුවේ උතුරේ ජනතාව කබලෙන් ලිපට වැටි ඇති බවයි.

බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් වූ ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරි යන නිලධාරීන් අතරින් වැඩි දෙනෙකුගේ අණසකට යට වන්නට දුප්පත් ජනයාට සිදුව ඇති බව ද බාස්කරන් පැවසුවේ ය.

රජය මගින් ක්‍රියාත්මක සංවර්ධන වැඩ, රාජ්‍ය නොවන ආයතනවල විවිධ ප්‍රදානයන් ඇතුලු සහන සේවා ලැබෙන්නේ මේ නිලධාරීන්ගේ හිතවතුන්ට සහ එම නිලධාරීන්ගේ ඕනෑ එපා කම් සපුරාලන පවුල් කිහිපයකට පමණක් බව මන්ඩතිවු දූපතේ දී හමුවූ පද්මනාදන් ගනේෂ් පැවසුවේ ය.

‘‘සහන හැම එකක්ම ලැබෙන අයට නිතරම ලැබෙනවා. නොලැබෙන අයට ඇත්තෙම නෑ. සන්තෝෂම් නැතුව සමහර ආණ්ඩුවේ කන්තෝරුවලින් වැඩක් කර ගන්න බෑ. දුප්පත් අපි සමාජයට එනවාට අපේම අය කැමති නෑ.’’ ඔහු පැවසීය.

අඩු ආදායම් ලාභී උතුරේ වැසියන්ගේ ජනජිවිත ගොඩ ගැනීමට අගනුවරින් හදන සැලසුම් උතුරේ ගම්වල බිම් මට්ටමට නොපැමිණීම නිසා ජනයා අසාර්ථක ජීවිත ගත කළ ද, ඇතැම් කන්තෝරුවල ලේඛන බලද්දී උතුරේ ජනතාව සුඛිත මුදිත යැයි හැඟීමක් ඇති වෙන බව මේ ජනයා පවසති.

‘‘කොළඹින් නිලධාරීන් යාපනේ ආණ්ඩුවේ කන්තෝරුවලට එනවා. නිලධාරින් හමු වෙනවා. කතා කරනවා. ෆයිල් බලනවා. සතුටු වෙනවා. ආපහු යනවා. ගමට එන්නේ නෑ. ගමට ආවොත් ඇත්ත දැක ගත හැකියි.’’ ඇතැමෙක් පවසති.

මේ කරුණු සොයා බැලීමට වේලනෙයි සහ කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේ දුෂ්කර ගම් කිහිපයකට ගියෙමි.

වේලනෙයි හි, සරවනෙයි ගමේ දී, මන්ඩතිවු දුපතේ දී, වන්කලවඩි ආදි ගම්වලදි සංවර්ධන කටයුතු සිදු කරන දකුණෙන් ගිය සිංහල වැසියන් කිහිප දෙනෙක් මුණ ගැසුනි.

ඒ අය අතර ජාතික ජල සම්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙක් වු ශාන්ත රත්නායක ද සිටියේ ය.

‘‘මම යාපනේට ආවේ ජාතික සමගිය හා සංහිදියා කාර්යාලයෙන් යාපනේ ක්‍රියාත්මක වැසි ජල ව්‍යාපෘතියේ වැඩකටයුතු බලන්න. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා මැතිනියගේ නායකත්වයෙන් මේ කාර්යය ක්‍රියාත්මකයි. යාපනේ පුරා දුෂ්කර ප්‍රදේශවලට අපි වැසිජල ටැංකි දාහක් දෙනවා. ඒවා හදන තාක්ෂණය දන්න දකුණේ පෙරදරේරුවන් යාපනයට ගෙනැල්ලා යාපනේ පදිංචි පෙදරේරුවන් පුහුණු කරනවා. මේක ඇත්තටම පිපාසයට වතුර දෙන ගමන් සිංහල සහ දමිළ ජනතාව අතර සංහිඳියාව ඇති කිරිමක්. මේ දොගොල්ලො දුක සැප බෙදාගෙන වැඩ කරනවා. කිසිම ගැටුමක් නෑ. ආරක්ෂාවේ ප්‍රශ්නයකුත් නෑ. වැඩ කරන අතරේ උතුරේ අය සිංහල ඉගෙන ගන්නවා දකුණේ අය දෙමළ ඉගෙන ගන්නවා. බලාගෙන යනකොට මේ දෙගොල්ලන්ටම තියෙන ගැටලු එක සමානයි.’’ අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.

කයිට්ස්, නාන්දනෙයි හිදී හමුවුන රජයේ කාර්යාලයක සැලසුම් නිලධාරියෙකු වූ එම්. රජීව් තරුණයා පැවසුවේ දකුණේ අය අපේ ගම්වලට පැමිණීම දෙමළ දේශපාලනඥයන් සහ දෙමළ නිලධාරින් විසින් අවහිර කර තිබූ බවයි.

‘දැන් මේ සිංහල පිරිස අපේ සැබෑ තත්ත්වය දකිනවා. එයාලගේ අදහස් අපිට ලැබෙනවා. අපි හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්න කියලා තේරුම් අරගෙන නොගැටී ජීවත් වෙන්න ඕනෑ කියලා දෙගොල්ලෝම හිතාවි.’ රජීව් පවසයි.

උතුරු පළාත් සභාවේ එක්සත් ජාතික නිදහස් සංධාන මන්ත්‍රී අගිලදාස් සිවකෝලන්තු පැවසුවේ සිංහල දෙමළ සංහිදියාව ඇති කිරීමට ‘කතාව පමණක් මදි’ බවයි.

‘ඇත්තටම දකුණෙන් අය මෙහෙ එන්න ඕනෑ. ගමට යන්න ඕනෑ. අපි දෙගොල්ලන්ටම තියෙන්නේ එකම ප්‍රශ්න කියලා එකිනෙකා දැන ගන්න ඕනෑ. ඒකට තමයි සැබෑ සංහිඳියාව කියන්නේ. ජනතාව මේ යාථාර්තය තේරුම් ගත්ත දවසට නැවතත් සිංහල දෙමළ ජනතාව ගැටෙන එකක් නෑ.’ ඔහු කියා සිටියේය.

යාපනේ ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයන් පවා සෙසු ජනතාව සමග ජීවන අරගලයට මුහුණ දෙමින් සත්ත්ව පාලන සහ වගා කටයුතුවල නිරත වන ආකාරයක් ද දැක ගත හැකි විය.