තාලිබාන් කැරලිකරුවන් සංගින් 'නගරය තුළට'

Image copyright AFP
Image caption මේ අතර ඇෆ්ගනිස්තාන ආණ්ඩුවේ කොමාන්ඩෝ භටයන් සංගින් දිස්ත්‍රික්කයට ළඟා වූ බව හෙල්මන්ඩ් පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා පවසයි

දින ගණනක් පැවති දරුණු සටන්වලින් අනතුරුව හෙල්මන්ඩ් පළාතේ සංගින් නගරයේ මධ්‍යම කලාපයේ බලය ඇෆ්ගනිස්තාන හමුදා අතින් ගිලිහී ඇති බව වාර්තා වේ.

ඇසින් දුටුවකු බීබීසීයට කියා සිටියේ එම කලාපයේ පිහිටි ආණ්ඩුවේ ප්‍රාදේශීය පාලන කාර්යාලය සහ පොලිස් ස්ථානය තාලිබාන් කැරලිකරුවන් පාලනයේ පවතින බවයි.

සංගින් දිස්ත්‍රික්කයම සිය පාලනයේ පවතින බවයි තාලිබාන් සංවිධානය කියා සිටියේ.

කෙසේ නමුත් ඇෆ්ගනිස්තාන ආණ්ඩුවේ කොමාන්ඩෝ භටයන් සංගින් දිස්ත්‍රික්කයට ළඟා වූ බව හෙල්මන්ඩ් පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා මේ අතර පැවසුවේය.

එම පළාතේ දිස්ත්‍රික් මූලස්ථාන වල පොලිස් සහ යුද හමුදා භටයන් තාලිබාන් ප්‍රහාරකයන්ට කොටු වී සිටින අතර කොමාන්ඩෝ භටයන් පැමිණීමත් සමඟ ඔවුන් මුදා ගැනීමේ අපේක්ෂා පළ වෙමින් තිබේ.

Image copyright EPA
Image caption සංගින් දිස්ත්‍රික්කයේ වැසියන් වෙනත් අසල්වැසි දිස්ත්‍රික්ක වෙත පලා ගොස් තිබේ

ඇෆ්ගනිස්තාන ආණ්ඩුවේ මෙහෙයවීමෙන්, කොටු වී සිටින ආරක්ෂක භටයන් සඳහා ආහාර ඖෂධ සහ පතරොම් ආදිය ගුවනින් බිම හෙලන ලද බවත් වාර්තා වේ.

එරට වැඩ බලන ආරක්ෂක ඇමතිවරයා පවසන්නේ සංගින් දිස්ත්‍රික්කයේ තවදුරටත් දරුණු සටන් පවතින බවයි.

මේ අතර හෙල්මන්ඩ් පලාතට යළි හමුදා යවමින් සිටින බවට තාලිබාන් සංවිධානය බ්‍රිතාන්‍යයට චෝදනා කළේය.

එහෙත් බ්‍රිතාන්‍ය පවසන්නේ තමන් විසින් සිදු කරනු ලබන්නේ ඇෆ්ගනිස්තාන හමුදාවන්ට උපදෙස් ලබා දීම පමණක් බවයි.