ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මන්ත්‍රී දෛනික දීමනාව වැඩි කිරීම සාහසිකයි -වාසු

තිසර අරවින්ද රතුවිතාන.

බීබීසී

‘රටේ සේවකයන්ගේ’ වැටුප් වැඩි වීම ඉටු නොවී තිබියදී මන්ත්‍රීවරුන්ගේ දෛනික දීමනාව රුපියල් පන්සීයේ සිට විසි දහස දක්වා වැඩි කරන්නේ නම් එය ‘සාහසික’ බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පවසයි.

පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා සෑම දිනකම ගෙවන මෙම පන්සීයේ දීමනාව රුපියල් විසි දහස දක්වා වැඩි කිරීමට යන බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ පිළිබඳව බීබීසීයට අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර හිටපු ඇමතිවරයා කියා සිටියේ එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් තොරව කැබිනට් මණ්ඩලය තුළ අනුමත කර ගත හැකි බවයි.

‘මේ රටේ සේවකයන් ලෙස හැට ලක්ෂයක් පමණ ඉන්නවා. ඒ අයගේ වැටුප දෙදහස් පන්සීයකින් වැඩි කිරීම තාමත් ඉටු නොවී තිබිය දී මෙවැනි යෝජනා ගේන එක සාහසිකයි.’ ඔහු පැවසීය. හඬ පටය අමුණා ඇත.

Image copyright EPA

එවැනි යෝජනාවක් සම්මත වුවහොත් එම දීමනාව ලබා ගැනීම තමන් ප්‍රතික්‍ෂේප කරන්නේදැයි විමසූ විට හිටපු ඇමතිවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

‘ඒ දීමනාවේ වටිනාකමත් ඒ දීමනාව ජනතාවගේ උවමනාව සඳහා හැරවිය හැකි ඉඩ කඩත් සලකා බලා, ඒ අනුව තමයි අප තීන්දු ගත යුතු.’ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා බීබීසීයට පැවසීය.

'බත් කරිය'

මේ අතරතුර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන දිවා ආහාරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එය රුපියල් එකසිය පනහකට වඩා වටිනාකමක් නොමැති බවයි.

‘ඒ ආහාර වේල නම් රුපියල් එකසිය පනහකට වඩා වටින්නෙ නැහැ, බත් කරිය. එළවලු මාළු තියෙනව හයක් හතක්. වැඩක් නැහැ ඒක එළවලු මාළුවක් වත්. කන්න පුළුවන් විදියට හදන්නේ නැහැ.’ මන්ත්‍රීවරයා පවසයි.

මේ පිළිබඳව ආණ්ඩුවේ මැති ඇමතිවරු කිහිප දෙනෙකු ඇමතීමට අප ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.