ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එන්රිකේ සහ තනපට: 'මුදලට මනුෂ්‍යත්වය විකුණන්න දෙන්නේ නෑ'

ලතින් ඇමරිකානු පොප් සංගීත රජු ලෙස සැලකෙන එන්රිකේ ඉග්ලේසියස්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවති සංගීත ප්‍රසංගය අතරතුර තරුණියක් ඔහු දෙසට තනපටය වීසි කළ බව කියන සිද්ධියක් ජනපති මෛත්‍රිපාල සිරිසේන දැඩි විවේචනයට ලක් කරයි.

'මේ ගැහැණු ළමයි තනපටය ගලවලා දුන්නා මේ ගායකයාට.මේ අපේකම් රකින හැටි. තරුණ ගැහැණු ළමයි වේදිකාවට නැගල මේ ගායකයව බලෙන් සිප ගත්තා ඉන්න බැරුව.' ජනපතිවරයා කියා සිටියේ අම්පාර ඩීඑස් සේනානායක ජාතික පාසලේ පැවති සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයට එක් වෙමින්.

මත්පැන් පානය කොට මෙවැනි 'අසංවර' ක්‍රියාවල නිරත වන තරුණියන්ට නොව මෙවැනි වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරන පුද්ගලයන්ට 'මඩු වල්ගෙන් තැලිය යුතු' බවයි ජනපතිවරයා එහිදී කියා සිටියේ.

රුපියල්, ශතවලට ඉඩ ලබාදී තරුණ සමාජය නොමඟ යවන අසංවර වැඩසටහන් සංවිධානය කිරීමට රජය මින් ඉදිරියට ඉඩ ලබා නොදෙන බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා අවධාරණය කරයි.

එවන් වැඩසටහන් සඳහ අනුමැතිය ලබා දීමේදී රුපියල් ශතවලට වඩා හොඳ නරක පිළිබඳ අවධානය යොමු කිරීම සියලුදෙනා ගේ වගකීමක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

කුමන විවේචනවලට ලක්වුව ද ‘අපගේ අභිමානවත් සංස්කෘතියට සහ සදාචාරයට’ හානි වන කිසිවක් සිදු කිරීමට කිසිවකුට තමා ඉඩ ලබා නොදෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

සංස්කෘතිය සහ සාදාචාරය ආරක්ෂා කළ දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට රජයක් ලෙස කළ හැකි සියලු කාර්යයන් ඉටු කරන බවයි ඔහු කියා සිටියේ.

නව තාක්ෂණය සමඟ මිනිස්කම පිරිහී යන සමාජයක අපේකම් සහ හැදියාවන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළේ දී මහා සංඝරත්නයට සහ සියලු ආගමික පූජකවරුන්ට මහත් කාර්ය භාරයක් පැවරී ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ ය.

ස්පාඤ්ඤ ජාතික ජනප්‍රිය බටහිර ගායක එන්රිකේ ඉග්ලේසියස්‌ගේ 'Sex and Love' ප්‍රසංගයේ අවසාන භාගයේදී සියලු ආරක්‍ෂක බැමි කඩා ගෙන වේදිකාවේ පිටුපසින් වේදිකාවට පැමිණි තරුණියක්‌ ඔහු වැළඳගෙන ඔහුගේ ගෙලෙහි එල්ලී සිප ගැනීමත්, ප්‍රසංගය නැරඹූ තවත් තරුණියක්‌ සිය තනපටය ගලවා එන්රිකේ ඉග්ලේසියස්‌ වෙත විසි කිරීමේ සිද්ධියත් සමාජ ජාල ඇතුළු සංස්කෘතික ක්ෂේත්‍රවල කතාබහට ලක් වී තිබිණ.

එන්රිකේ ඉග්ලේසියස්‌ ශ්‍රී ලංකාවට ගෙන්වන ලද්දේ ශ්‍රී ලාංකීය ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාරගේ ලයිව් ඉවන්ට්‌ස්‌ පුද්ගලික සමාගම මගිනි.

මෑත භාගයේදී වැඩිම මිලට ප්‍රවේශ පත්‍ර අලෙවි වූ ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රසංගය ලෙස ද මෙය සැලකේ.

ශ්‍රී ලංකාවේ සිය ප්‍රසංගයක් පැවැත්වීමට ලැබීම මහත් ගෞරවයක් බව ඉග්ලේසියස් සිය නිල ට්විටර් සමාජ ජාල ධාරාවේ සටහනක් තබමින් පවසයි.