සුනාමිය: පල්ලියේ අනුස්මරණ උත්සවයට බෞද්ධ හිමිවරුත්

Image caption 'ජාති ආගම් භේද නොබලා ජීවිත බිලි ගත් සුනාමියේදී රට වැසියන් සියලු දෙනා එකිනෙකා වෙත උදව් උපකාර කර ගත්තා'

බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ සහභාගීත්වයෙන් හක්මන කිරින්ද පුහුල්වැල්ල ජුම්මා පල්ලියේදී සුනාමියෙන් ජීවිත අහිමි වූ පිරිස් සිහි කොට ආගමික වතාවත් සිදු කෙරිණ.

ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් සහ මුස්ලිම් පූජකවරුන් එක් වී ආගමික වතාවත් සිදු කළ අතර සෙනසුරාදා රාත්‍රියේ පැවති අනුස්මරණ උත්සවයට සහභාගී වූ පිරිස් මිය ගිය පුද්ගලයන් සිහි කොට මිනිත්තු හතරක නිශ්ශබ්දතාවක නියැලුනහ.

කිරින්ද පුහුල්වැල්ල ජුම්මා පල්ලියේ පැවතී අනුස්මරණ උත්සවය සඳහා වැඩම කළ භික්ෂූන්වහන්සේලා හට හිඳ ගැනීම සඳහා සුදු පිරුවට එලා අසුන් පනවා තිබිණ.

සර්ව ආගමික අනුශාසනා පවත්වමින් ඊට සහභාගී වූ භික්ෂූන් සහ පූජකවරුන් සිහි පත් කළේ ජාති ආගම් භේද නොබලා ජීවිත බිලි ගත් සුනාමියේදී රට වැසියන් සියලු දෙනා එකිනෙකා වෙත උදව් උපකාර කර ගත් බවයි.

මෙම අවස්ථාවට කිරින්ද මහා විහාරයේ විහාරාධිපති ඔවිටිගමුව සුමනතිස්ස හිමි, සුදර්ශි පිරිවේනේ ආචාර්ය කුඹල්ගොඩ හේමාලෝක හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා කීපදෙනෙක් සහභාගී වී සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර