'එකම වෛද්‍යවරයෙක් වත් නැති රෝහල් විසි නමයක්'

Image copyright Getty

තම බල ප්‍රදේශය තුළ එකම වෛද්‍යවරයෙක් වත් නොමැති රෝහල් විසි නමයක් පවතින බව උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය ඇමතිවරයා පැවසීය.

බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය ඇමති පී සත්‍යලිංගම් කියා සිටියේ තම ප්‍රදේශයට වෛද්‍යවරුන් 230 දෙනෙකුගේ හිඟයක් පවතින බවයි.

එමෙන්ම උතුරේ රෝහල් තුළ විශාල හෙද හිඟයක් ද පවතින බව ඔහු ප්‍රකාශ කළේය.

'හෙදියොත් හිඟයි'

‘රෝහල් විසි නමයකට එකම දොස්තර කෙනෙක්වත් නැහැ. වෛද්‍යවරු 230ක් මදි. ඒ කියන්නේ සිටිය යුතු ප්‍රමාණයෙන් තුනෙන් එකක හිඟයක්. හෙදියොත් හිඟයි. හෙදියෝ 850ක් අපිට ඉන්න ඕන. ඒ ගණනින් අපිට හෙදියන් 225ක් පමණ හිඟයි. විශේෂඥ වෛද්‍යවරුන්ගෙනුත් බාගයක් හිඟයි. 120ක් විතර ඉන්න ඕන. 55 දෙනෙක් විතර මදි.’ උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය ඇමති පී සත්‍යලිංගම් පැවසීය.

මෙවැනි තත්වයක් යටතේ දුෂ්කර පෙදෙස්වල ජීවත් වන ජනතාව ඉතා පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙන බවයි ඔහු පවසන්නේ.

'පාරේ බබා හම්බවෙනවා'

‘සාමාන්‍ය සෞඛ්‍ය සේවයවත් මේ ගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. වෛද්‍යවරු නැති රෝහල් ඔක්කොම තියෙන්නේ දුෂ්කර ප්‍රදේශවල. ඒ පලාත්වල පොදු ප්‍රවාහන සේවා නැහැ. පාරවල් අබලන්. අවුරුදු තිහක් හෝ පනහක් තිස්සේ රෙපෙයාර් කරපු නැති පාරවල් තියෙන්නේ. වෛද්‍යවරයෙක් ඉන්න රෝහලක් හොයා ගෙන එන කොට සමහර රෝගීන් මගදී මැරෙනවා. සමහර අම්මලට පාරේ මගදී බබා හම්බ වෙනවා. ඒ වගේ තත්වයක් මෙහෙ තියෙන්නේ.’ උතුරු පළාත් සභා ඇමතිවරයා පවසයි.

වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පිරවීම හෝ ස්ථාන මාරු සිදු කිරීමේ බලය පැවරෙන්නේ මධ්‍යම ආණ්ඩුවට බැවින් මෙම තත්වය හමුවේ පළාත් සභාවට කළ හැකි දේ සීමිත බවයි උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය ඇමතිවරයා පවසන්නේ.

මධ්‍යම ආණ්ඩුවෙන් වෛද්‍යවරුන් පත් කෙරුණු අවස්ථාවලදී පවා උතුරේ පවතින දුෂ්කරතා නිසා එම වෛද්‍යවරුන් රජයේ සේවයෙන් ඉවත් වී පෞද්ගලික රෝහල්වල රැකියාවට යන බව ඔහු ප්‍රකාශ කළේය.