ඉන්දීය ධීවර ඇස නැගෙනහිර මුහුදට

Image copyright SLNavy
Image caption ඉන්දීය ධීවරයන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් අවස්ථාවක්

ඉන්දියානු ධීවරයන් විසින් ශ්‍රී ලංකාවේ මහුදු තීරය ආක්‍රමණය කරනු ලැබීම නිසා මෑතක් දක්වා වෘත්තීය අලාභයකට මුහුණ දුන්නේ උතුරු පළාතේ ධීවරයන් වූ නමුත් දැන් එම ප්‍රශ්නයට මුහුණ දීමට තමන්ටත් සිදු වී ඇති බවට ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයේ ධීවරයෝ චෝදනා කරති.

ත්‍රිකුණාමලයේ ‘නයාරු’ කලාපයේ මුහුදේ සැතපුම් හතක් තරම් දුර දියඹේ බෝට්ටු තුනකින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් විසි නව දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද බවක් ද වාර්තා වෙයි.

තමිල්නාඩුවේ සිට පැමිණ ඇති එම ධීවරයන් වැඩිදුර ප්‍රශ්න කිරීම සහ නෛතික ක්‍රියාමාර්ග සඳහා ත්‍රිකුණාමලය වරාය පොලිසියට භාර දුන් බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ.

Image caption ඉන්දු - ශ්‍රී ලංකා ධීවරයන් චෙන්නායි නගරයේ හමු වූ අවස්ථාවක්

මෙය නැගෙනහිර මුහුදේ දී ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගනු ලැබුණ පළමු අවස්ථාවයි.

තහනම් පන්න ක්‍රම

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට ඇතුල් වෙන ඉන්දීය ධීවරයන් නෙරපා හැරීමට සහ එම මුහුදු කලාපයේ ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගැනීමත් සමඟ ඉන්දියානු ධීවරයන් නැගෙනහිර මුහුදු තීරයට පිවිසීමට උත්සාහ දරමින් සිටින බවයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් මුහුදු සම්පත් සුරැකීමේ ධීවර සමිති ලේකම් කේ.කෝකිලරාජ් පවසන්නේ.

‘අපේ මුහුදු සම්පත් ආරක්ෂාකර ගැනීම සියලුම ධීවරයන්ගේ වගකීමක්.ඉන්දියානු ධීවරයන් අපේ මුහුදට ඇතුල් වෙනවා විතරක් නොවෙයි.ඔවුන් නීති විරෝධී මසුන් මරණ ක්‍රම පාවිච්චි කරමින් අපේ මුහුදු සම්පත විනාශ කරනවා’ ධීවර සමිති ලේකම් කේ.කෝකිලරාජ් කියා සිටියි.

දැඩි ක්‍රියාමාර්ගයක්

Image copyright hcicolombo.org
Image caption අත්අඩංගුවට ගනු ලැබුණ ඉන්දීය ධීවරයන් කීප දෙනෙක්

මුහුදු තීරයට ඇතුල් වීමටත් වඩා හානිකර වන්නේ ජාත්‍යන්තර මට්ටමින් තහනම් කෙරුණ පන්න ක්‍රම පාවිච්චිය බව ධීවර සමිති ලේකම් කේ.කෝකිලරාජ්ගේ අදහසයි.

එවැනි ක්‍රියාවන් සිදු කරන ධීවරයන් සතු ආම්පන්න රාජ සන්තක කරනු ලැබීම ප්‍රශ්නයට නිත්‍ය විසඳුමක් නොවන බව පෙන්වා දෙන ධීවර සමිති ලේකම් කේ.කෝකිලරාජ් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙවැනි බරපතළ ප්‍රශ්නවල දී අනුගමනය කරන්නේ ළිහිල් ක්‍රියාමාර්ග බවත් ඉන් ඔබ්බට ගොස් ස්ථිර විසඳුම් මාර්ගයට අවතීර්ණ විය යුතු බවත් පෙන්වා දෙයි