උතුරේ බිම් බෝම්බ වසර දෙකකින් ඉවතට

Image copyright bbc

ශ්‍රී ලංකාවේ වැඩිම බිම් බෝම්බ ප්‍රමාණයක් වැළලී ඇති මුලතිවු දිස්ත්‍රික්කයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කෙරේ.

නොකඩවා වසර දෙකක් තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කොට ඇති හෙයින් 2020 දී ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර රටක්වනු දැකීමේ සිහිනය සෑබෑකර ගැනීමට හැකිවෙතැයි මේ අවස්ථාව සනිටුහන් කරමින් මුලතිවු දිසාපතිනී රූපවතී කේතීස්වරන් සඳහන් කළාය.

'' හේලෝ ට්‍රස්ට්'' ජාත්‍යන්තර සංවිධානය විදේශ ආධාර මත තවත් වසර දෙකක කාලයකදී මුලතිවු දිස්ත්‍රික්කයේ බිම් බෝම්බ ඉවත් කිරීම අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි.

ශ්‍රී ලංකාව තුළ තවත් බිම් බෝම්බ ඉවත් කිරීමට ඇති වර්ග කිලෝමීටර් හැටහතරක භූමි ප්‍රමාණයෙන් 73% ක් ඉතිරිව ඇත්තේ මුලතිවු දිස්ත්‍රික්කයේ බවයි මුලතිවු දිසාපතිවරිය තවදුරටත් කියා සිටියේ.

වළලා ඇති බිම් බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම තුළින් යුද අනාථයින් යළි පදිංචිකරවීම කඩිනම් කිරීමටත්, ගොවීන්ට සිය කුඹුරු හා ඉඩම් වගා කර ගැනීමට අවසර ලබා දීමටත් හැකි බව කී දිසාපතිවරිය ඉන් පසු සියලු දෙනාටම බියකින්, අවදානමකින්, හෝ සැකයකින් තොරව ජීවත්විය හැකි බවද කියා සිටියාය.

බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත ''හේලෝ ට්‍රස්ට්'' සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී ඩේමියන් ඕ බ්‍රයන් කියා සිටියේ ලෝකයේ ධනවත් රටවල් බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුත්ත මානුෂීය ක්‍රියාවලියක් ලෙස සලකා ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ආධාර සපයා දෙන්නේ නම් බිම් බෝම්බ ඉවත් කිරීම ඉතා කඩිනමින් සිදු කිරීමට හැකි බවයි.

නමුත් වසර 2020 වන විට ශ්‍රී ලංකාව බිම් බෝමබවලින් තොර රටක් බවට පත් කිරීම වෙනුවෙන් ජිනීවා සම්මුතිය තබා ඇති ඉලක්කය හඹා ගොස් එය ජය ගැනීමට සියලු දෙනාම කැපවීමෙන් යුතුව කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ පර්යේෂකයෙකු වන විද්‍යා අබේගුණවර්ධනගෙන් බිම් බෝම්බ ඉවත් කිරීමේ වර්තමාන තත්ත්වය ගැන තොරතුරු විමසූ විට ඔහු කියා සිටියේ දැනට ශ්‍රී ලංකාවේ බිම් බෝමබ ඉවත් කෙරෙන සීග්‍රතාව දෙස බලන විට 2020 වන විට බිම් බෝම්බ සියල්ල ඉවත් කිරීමට හැකියාවක් නොමැති බවයි.