අපරාධකරුවන් රණවිරුවන් වෙන්නේ කෙසේද - නීතිවේදී එකමුතුව

Image copyright Getty
Image caption 'මේ රටේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා ඒ අපරාධකරුවන් කියා හඳුනා ගත් අය හමු වෙන්න යනවා නම් ඒක සම්පූර්ණ වැරදි ක්‍රියාවක්.' (සංරක්ෂිත ඡායාරූපයක්)

ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදහන් වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින හමුදා සාමාජිකයන් හමු වීමට හිටපු ජනපතිවරයා බන්ධනාගාරය වෙත යෑම නීතියේ ආධිපත්‍යට එරෙහි වීමක් බව ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ එකමුතුව පවසයි.

අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑම සම්බන්ධයෙන් සැක පිට හමුදා බුද්ධි අංශ සාමාජිකයන් කීපදෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේදී ඔවුන්ද හමු වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බීබීසී සංදේශය කළ විමසීමකදී පිළිගත්තේය.

''ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑම සම්බන්ධ අය හඳුන ගෙන ඒ අය සිර භාරයට අරන් අපරාධ පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. එවැනි අවස්ථාවක මේ රටේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා ඒ අපරාධකරුවන් කියා හඳුනා ගත් අය හමු වෙන්න යනවා නම් ඒක සම්පූර්ණ වැරදි ක්‍රියාවක්," නීතිවේදී එකමුතුවේ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය සමයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අත්රුදහන් වීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ ක්‍රියාත්මක නොවූ බවත් නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ කියා සිටියේය.

''ඔහුට කිසිම අයිතියක් නැහැ එතනට ගිහින් ඒ අය වෙනුවෙන් කතා කරන්න. ඇත්ත වශයෙන් කිරීමට අවශ්‍ය වන්නේ, හරි බොහොම හොදයි දැන් අපරාධකාරයෝ හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි ඒ උදවිය කියන්න ඕනි''

හිටපු ජනපතිවරයාගේ ක්‍රියා කලාපය පරීක්ෂණවලට සිදු කරන අනිසි බලපෑමක් ලෙසිනුයි නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ විග්‍රහ කරන්නේ.

රණවිරුවෝ?

''අපරාධ විමර්ශනයක් සිදු කරන්නේ රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්. මේක දේශපාලනඥයෝ කරන පරීක්ෂණයක් නොවෙයි, පොලිස් නිලධාරීන් මේ පරීක්ෂණය කරන්නේ. අද, පොලිස් නිලධාරීන් අපරාධකරුවන් සොයා ගෙන නිසි විමර්ශනයක් සිදු කරලා ඒ කටයුතු කර ගෙන යන කොට ඒකට විරුද්ධව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිට ප්‍රකාශ නිකුත් කිරීම අපරාධ විමර්ශන ක්‍රියාවලිය සම්පුර්ණයෙන් අසාර්ථක කිරීමට කරන උත්සාහයක් වශයෙන් පෙනෙන්න තිබෙනවා''

අපරාධකරුවන් රණවිරුවන් ලෙස හඳුන්වන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ එකමුතුවේ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ මේ අතර ප්‍රශ්න කරයි.

''අපරාධ කරන උදවිය රණවිරුවෝ වෙන්න බැහැනේ. එක්නැලිගොඩ පැහැරගෙන ගිහින් අතුරුදහන් කළා කියන එක පිළිබඳ සාක්ෂි තිබෙනවා. ඒ අනුව තමයි පුද්ගලයන් සිර භාරයට ගෙන තිබෙන්නේ. රණවිරුවන්ට එහෙම කළ යුතු නැති බව මහින්ද රාජපක්ෂ කණ්ඩායම කියනවා .ඉතින් අපරාධ කරන උදවිය රණවිරුවෝ වෙන්නේ නැහැනේ''

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑම සම්බන්ධයෙන් රණවිරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවට හිටපු ජනපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

ප්‍රේමවතී මනම්පේරි තරුණිය දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කොට ඊට සම්බන්ධ හමුදා නිලධාරියාට එරෙහිව නඩු පවරා දඬුවම් කළ බවත් නීතිඥවරයා සිහිපත් කළේය.

ත්‍රස්ත මර්දන පනත යටතේඉහත කී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පවසන ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ එකමුතුවේ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ එම සැකකරුවන්ට එරෙහිව ත්‍රස්ත මර්දන පනත යටතේ නඩු පැවරීමට යන බවට පළ වන අදහස් බැහැර කර සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර