හිරුනිකා ගැන තාම නීතිපති උපදෙස් නැහැ -පොලිසිය

පුද්ගලයකු පැහැර ගෙන යාමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගය ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් පතා ඇති නමුත් තවම උපදෙසක් ලැබී නැති බව පොලිසිය පවසයි.

පොලිසිය මේ බව කියා සිටියේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී යි.

ඩිෆෙන්ඩර් රථය

කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට කියා සිටියේ අමිල ප්‍රියංකර නමැති පුද්ගලයා පැහැර ගැනීම සඳහා යොදා ගත් ඩිෆෙන්ඩර් රථය පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ නමින් ලියාපදිංචි කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉකුත්දා ප්‍රකාශ කර තිබුණේ මේ සිද්ධිය සමග තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.

සිය ආධාර කරුවන්ගේ ක්‍රියා කලාපය හෙලා දකින බව ද ඇය ප්‍රකාශ කර තිබුණි.

ගැනීමේ පෙරෙට්ටුව

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර ඇති අට දෙනා අද (04) දින හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනද සාක්කිකරුවන් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

ඒ අනුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අනිද්දා දක්වා කල් දැමු අධිකරණය එතෙක් සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීමට ද නියම කළේය.