තරබාරු භාවයට එරෙහිව 'දිනකට පියවර 15000ක්?'

Image copyright Getty
Image caption ලොව සමස්ත ජනගහනයෙන් 20% ක් පමණක් අවශ්‍ය ප්‍රමාණයට දෛනික ව්‍යායාමවල යෙදෙන බව භෞතචිකිත්සක කුසල් කුමාර ගුණවර්ධන පවසයි.

සමස්ත ශ්‍රී ලංකා ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස 7.4%ක් තරබාරු භාවයට ගොදුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා උපුටා දක්වමින් ශ්‍රී ලාංකික භෞතචිකිත්සක විශේෂඥයෙක් පවසයි.

"ශ්‍රී ලංකාවේ පුරුෂයන්ගෙන් 29% සහ කාන්තාවගෙන් 41% නියමිත ශරීර බර ප්‍රමාණය ඉක්මවා ගොස් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා වල සඳහන් වෙනවා. කාන්තාවන්ගේ ප්‍රතිශතය ඉතාම ඉහළ අගයක්," මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ භෞතචිකිත්සක විශේෂඥවරයකු වන කුසල් කුමාර ගුණවර්ධන පැවසීය.

හෘද රෝග, අංශභාගය වැනි රෝගී තත්වයන්ට හේතු වන ස්ට්‍රෝක්, දියවැඩියාව, ප්‍රතිශ්‍යා රෝග සහ පෙනහළු ආශ්‍රිත රෝග ශ්‍රී ලංකාව තුළ බොහොමයක් මරණ වලට හේතු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනෙස්කෝ ආයතනයේ වාර්තාවල සඳහන්.

තරබාරු භාවය සහ නියමිත ප්‍රමාණය ඉක්මවා ශරීර බර ප්‍රමාණය ඉහළ යෑම මෙවැනි රෝගාබාධවලට ගොදුරු වීමට බොහෝ සෙයින් බලපාන බව පවසන විශේෂඥවරයා, බරපතල අනතුරු ඇඟවීමක් කරයි.

''තරබාරු භාවයට පත් වූ විට සිදු වන්නේ මේ රෝගාබාධවලට ගොදුරු වෙලා අඩු වයසින් මිය යන්න ඉඩ තිබෙනවා.''

අඩු වයස් මරණ

1980 සිට 2008 අතර කාලය තුළ ලොව පුරා තරබාරු භාවයට ගොදුරු වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව දෙගුණයකට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.

එහෙත් අවශ්‍ය ප්‍රමාණයට දෛනික ව්‍යායාමවල යෙදෙන්නේ ලොව සමස්ත ජනගහනයෙන් 20% ක් පමණක් බව භෞතචිකිත්සක කුසල් කුමාර ගුණවර්ධන පැවසුවේය.

වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් මේ ආකාරයට තරබාරු භාවයට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ යාමට හේතුව කුමක්ද?

භෞතචිකිත්සක කුසල් කුමාර ගුණවර්ධන පෙන්වා දෙන පරිදි, ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ජීවන රටාවක සිට ව්‍යායාමවල අඩු වශයෙන් නිරත වන නාගරික ජීවන රටාවකට හුරුවීම එක් හේතුවක්.

''ව්‍යායාම කරන්න වෙලාවක් නැහැ. ව්‍යායාම කරන්නෙත් නැහැ. රැකියාවට යන්නේ මෝටර් රථයෙන්. නැතිනම් ගෙදර ඉඳන් පරිගණක වල වැඩ කරන්නේ. එවිට ක්‍රම ක්‍රමයෙන් තරබාරු භාවයට පත් වෙනවා. පෙනහළු සහ හෘදයේ ක්‍රියාකාරිත්වය අඩු වෙනවා.''

Image copyright Kusal Kumar Gunawardena
Image caption මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ භෞතචිකිත්සක විශේෂඥවරයෙක් වන කුසල් කුමාර ගුණවර්ධන

ඔහු පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ මේ තත්වය බහලව බලපා තිබෙන්නේ දරුවන්ට.

''හරිනම් ළමයි කුඩා කාලේ ව්‍යායාම කරන්න ඕනි. නමුත් අද වන විට ළමයි පරිගණක ක්‍රීඩාවල යෙදෙනවා. නැතිනම් නිවසටම වෙලා ඉන්නවා. ඉස්සර වගේ නිවසෙන් එළියට ගොස් ක්‍රිකට් ගහන නැතිනම් බයිසිකල් පැදීම වැනි ව්‍යායාම වෙලා යෙදෙනවා අඩුයි. එවිට ළමුන්ගේ ශාරීරික යෝග්‍යතාව සහ සෞඛ්‍ය ක්‍රම ක්‍රමයෙන් පිරිහෙනවා.''

කෝටි 3500 ක්

හෘද ආශ්‍රිත රෝග මැඩලීම සහ ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වාර්ෂිකව රුපියල් කොටි 3500 ක් වැය කරන බව භෞතචිකිත්සක විශේෂඥ කුසල් කුමාර ගුණවර්ධන කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්තා උපුටා දක්වමින්.

ශ්‍රී ලංකාව තුළ හෘද ආශ්‍රිත රෝග වැළඳීම හේතුවෙන් පමණක් පුද්ගලයන් 219,000ක් වාර්ෂිකව රෝහල් හත කෙරෙන බවත් ඔහු පෙන්වා දෙයි.

දෛනිකව නිසි ව්‍යායාමවල නියැළී තරබාරු භාවයෙන් මිදිය හැකි අතර එමගින් හෘද රෝග, ස්ට්‍රෝක්, දියවැඩියාව, ප්‍රතිශ්‍යා රෝග සහ පෙනහළු ආශ්‍රිත රෝග වලින් ගැලවී සිටීමේ හැකියාව ඇති බව පවසන භෞතචිකිත්සක විශේෂඥවරයා වැඩිදුරටත් පවසන්නේ: "මේ රෝගාබාධ ඇති වූ විට එය අපේ රටේ ආර්ථිකයට බලපෑම් ඇති කරනවා. නමුත් නිසි ව්‍යායාමවල යෙදුනොත් මේ රෝගාබාධවලට රජයෙන් වැය කෙරෙන මුදල පමණක් නොවෙයි රටේ සියලු දෙනාගේ කාර්යක්ෂමතාව ඉහළ යනවා. ඒක රටේ සංවර්ධනයට ඉතා වැදගත්.''

''ලොව සංවර්ධිත රටවලටද තරබාරු භාවය අභියෝගයක්.''

ව්‍යායාම වැඩසටහනක්

මෙම තත්වය සැලකිල්ලට ගෙන වසර පහළොවක අධ්‍යනයකින් පසු තරබාරු භාවයෙන් මිදිය හැකි විශේෂිත ව්‍යායාම වැඩසටහනක් සහ ඒ හා සම්බන්ධ ඉලෙක්ට්‍රොනික අත් ඔරෝලොසුවක් නිර්මාණය කිරීමට සමත් වූ බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ භෞතචිකිත්සක විශේෂඥ කුසල් කුමාර ගුණවර්ධන පැවසීය.

එම ව්‍යායාම වැඩසටහන නුදුරේදීම ශ්‍රී ලංකාවට හඳුන්වා දීම ඔහුගේ බලාපොරොත්තුව.

''අපේ මේ විශේෂිත ව්‍යායාම වැඩසටහන සහ යෝග්‍යතාව මැන බලන ඉලෙක්ට්‍රොනික අත් ඔරලෝසුව එකවර ක්‍රියාත්මක වෙන්නේ. මේ කරණා දෙකම එක වර ක්‍රියාත්මක වන නිසා තමයි මේ හරහා හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. ලෝකේ පුරා ව්‍යායාම වැඩසටහන් තිබෙනවා. නමුත් බොහෝ අය දන්නේ නැහැ ඔවුන් කොපමණ ව්‍යායාමවල යෙදෙන්න අවශ්‍යද කියලා. අපි හඳුන්වා දුන් මේ යෝග්‍යතාව මැන බලන අත් ඔරලෝසුවෙන් ඔබට කියනවා කොපමණ ව්‍යායාම කළ යුතුද කියලා.''

භෞතචිකිත්සකවරයා පවසන පරිදි සාමාන්‍ය පුද්ගලයකු දිනකදී පියවර 15,000ක් ඇවිද යා යුතුයි.

"ඔබ ඒ ආකාරයට නිසි ව්‍යායාමවල දෙනවද, ඔබ ඔබේ දෛනික ව්‍යායාම ඉලක්කයට ළඟා වෙලා තිබෙනවද යන්න මේ ඔරලෝසුව හරහා දැන ගන්න පුළුවන්."

අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡා කොට ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් සඳහා ඉහත කී ව්‍යායාම වැඩසටහන හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් කුසල් කුමාර ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේය.