තාජුදීන් ඝාතනය: 'CCTV දර්ශන අපැහැදිලියි'

රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්ගේ මරණයට අදාලව සිදු කරන පරීක්ෂණවලදී සොයා ගෙන ඇති සීසීටීවී දර්ශන අඩංගු වීඩියෝ පට අපැහැදිලි බව කොළඹ විශ්ව විද්‍යාලය පවසයි.

එබැවින් ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා විදේශීය පරීක්ෂණාගාරයකට යැවීම සුදුසු බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්ණේය.

තාජුදින්ගේ මරණය සිදු වූ අවස්ථාවේ නාරාහේන්පිට සහ කිරුලපන මංසන්ධිවල සවි කර තිබූ ආරක්‍ෂිත කැමරා දර්ශන කිහිපයක් රහස් පොලිසිය සොයා ගෙන තිබුණි.

Image caption තාජුදීන්ගේ දේහය යළි ගොඩ ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරුන් කියා සිටියේ එය ඝාතනයක් බව

එම දර්ශන පරික්ෂා කල කොළඹ විශ්ව විද්‍යාලය අධිකරණයට දැනුම් දී ඇත්තේ එම දර්ශන අපැහැදිලි තත්වයකින් පවතින බැවින් සිය තාක්ෂණික සීමාව තුල ඒවා

හඳුනා ගැනීම අපහසු බවයි.

අදාළ දර්ශනවල වාහනයක් දක්නට ලැබුන ද එහි අංක තහඩුව හෝ එහි ගමන් ගන්නා පුද්ගලයන් හඳුනා ගැනීමට අපහසු බවයි කොළඹ විශ්ව විද්‍යාලය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

එම නිසා අදාළ වීඩියෝ දර්ශන ඇමරිකාවේ එෆ් බී අයි හෝ එංගලන්තයේ ස්කොට්ලන්ඩ් යාර්ඩ් පරීක්ෂණාගාර වෙත යොමු කර පරික්ෂා කිරීම සුදුසු බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.