ජනපති පදවි ප්‍රාප්තියට වසරයි

Image caption පදවි ප්‍රාප්තියෙන් වසරක් ගතවෙද්දී ජනපතිවරයාට බොහෝ ප්‍රශංසා පළ වන අතර, පොරොන්දු ඉටු නොකළ බවට විවේචනද එල්ල වේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායක පදවියට පත්ව වසරක් ඉකුත්වීම නිමිත්තෙන් උත්සව සහ ජාතික වැඩසටහන් ගණනාවක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු යොදා තිබේ.

ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියෙන් වසරක් පිරීම නිමිතිකොට 'මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්' මැයෙන් සිකුරාදා සහ සෙනසුරාදා උත්සව ගණනාවක් පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වසරක කාලය ඇතුලත ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඇනහිටි බව සහ විදේශ බලවේගවලට නතු වූ බව පවසමින් විරුද්ධ පක්ෂ විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබේ.

Image caption නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන්ට ප්‍රශංසා

'මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්' වර්ෂ පූර්ණ ජාතික උත්සවය සිකුරාදා සවස කොළඹ බණ්ඩාරනායක, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේද සහභාගිත්වයෙන්.

අනපේක්ෂිත පොදු අපේක්‍ෂකයා

ඉන්දීය බටහිර බෙංගාල ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සහ ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස්වරයකු වන ගෝපාල් ක්‍රිෂ්ණා ගාන්ධි උත්සවයේ ආරාධිත දේශකයායි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුබිනේ නන්දි විසින් එම උත්සවයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ පණිවුඩය සභාවට ඉදිරිපත් කළේය.

Image copyright AFP
Image caption ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ජනපතිවරණයට බලපෑම් කළ බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි

එවකට මහින්ද රාජපක්ෂ පාලනයේ සෞඛ්‍ය ඇමතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන, ජනපතිවරණයේ විරුද්ධ පක්ෂ පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වූයේ බොහෝ දෙනා මවිතයට පත්කරමින්.

ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු බොහෝ විරුද්ධ පක්ෂ මෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ ඇතැම් කොටස්ද පොදු අපේක්ෂකයාට සහාය දීමට ඉදිරිපත් වූ අතර, පසුගිය වසරේ ජනවාරි 08 වැනි දින පැවැත්වුණු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරමින් රාජ්‍ය නායකයා බවට පත්වීමට ඔහු සමත්විය.

'විදේශීය බලපෑම්'

මැතිවරණ දිනයේ භීෂණයක් මතුවනු ඇතැයි පළ වූ අවධානය හමුවේ සිය පවුලේ සාමාජිකයන්ද සමඟ කුරුණෑගල මිතුරෙකුගේ නිවසේ එදින රාත්‍රිය ගත කළ බවයි, ජනාධිපතිවරයා පසුව බීබීසී සංදේශය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී සඳහන් කළේ.

කෙසේ නමුත් මැතිවරණය දිනයේ කිසිදු බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ අතර, සාමකාමී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඇතුළු නිලධාරීන්ට මෙන්ම පොලිසියටද දෙස් විදෙස් ප්‍රණාමය හිමිවිය.

Image copyright
Image caption ජීවිතාරක්ෂාව පිණිස මිතුරෙකුගේ නිවසේ මැතිවරණ දින රාත්‍රිය පහන් කළ බව ජනාධිපතිවරයා සංදේශයට පැවසීය

ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් පරාජය පිළිගෙන ඉවත්ව යාම පිළිබඳව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ප්‍රශංසා කර තිබුණි.

එහෙත් ඉන්දියාව සහ ඇමෙරිකාව මැතිවරණයට බලපෑම් කළ බවයි, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

මේ අතර පරාජය වුවත්, කුමන්ත්‍රණකාරී ලෙසින් බලයේ රැදී සිටීමේ උත්සාහයක් දියත් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගද මීට ඉහතදී සංදේශයට පැවසූහ.

අදාළ කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධ මූලික විමර්ශන අවසානයේ නීතිපති නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින බවයි, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මෑතදී සඳහන් කොට තිබුණේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර