ආබෲගේ පෙත්සම ඉවතට

Image copyright Derana

තමන්ට එරෙහිව පවරා ඇති නඩුවක් විභාග කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

සිය නිවසේ මෙහෙකාරියට ගිනි අවි පෙන්වා ලිංගික අතවර සිදු කළ බවට චෝදනා කරමින් ආබෲ විනිසුරුවරයාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

එම නඩුව විභාග කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් විනිසුරු ආබෲ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

'යහපත් පියවරක්'

එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය ගත් තීන්දුව සාධාරණ නඩු විභාගයකට යහපත් පියවරක් වනු ඇතැයි අගතියට පත් පාර්ශවයේ නීතිවේදී ලක්ෂාන් ඩයස් ප්‍රකාශ කළේය.

Image copyright bbc
Image caption ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲට එරෙහිව පැවති විරෝධතාවක්

ආබෲ විනිසුරුවරයා සිය පෙත්සමෙන් සඳහන් කළේ සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා තමන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට ගත් තීරණය තුලින් තමනට දැඩි අසාධාරණයක් සිදු වන බවයි.

ප්‍රථම අවස්ථාව

එම චෝදනාව ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ක්‍රියාවලියේ දී නීතිපතිවරයා තමන්ට පැවරී ඇති නීතිමය රාමුව තුල සිට කටයුතු කර ඇති බව ප්‍රකාශ කළේය.

කිසිදු අවස්ථාවක නීතිපතිවරයා තම සීමාව අභිබවා ගොස් කටයුතු කර නොමැති බව ප්‍රකාශ කල අධිකරණය ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බවයි කියා සිටියේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවයේ නිරතව සිටිය දී විනිසුරුවරයෙකුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය බව ද නීතිවේදීහු පෙන්වා දෙති.