මහින්දෝදය අසාර්ථකයි -ගුරු විදුහල්පති සංගම්

Image caption මහින්දෝදයට විරෝධය: හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී විරෝධතාවක්

පසුගිය රජය සමයේ පාසල් වැඩිදියුණු කිරීම සඳහා ගෙන එන ලද මහින්දෝදය පාසල් වැඩසටහන අසාර්ථක බව ගුරු විදුහල්පති සංගම් පෙන්වා දෙයි.

රට පුරා පාසල් වල හට ගෙන ඇති අර්බුදවලට හා පාසල් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් වැසි යාමට මහින්දෝදය සංකල්පය ද මුල් වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් ප්‍රකාශ කරන්නේ පසුගිය රජය සමයේ ගෙනෙන ලද මහින්දෝදය පාසල් වැඩසටහන මේ රජයද කිසිදු වග විභාගයකින් තොරව ඉදිරියට ගෙන යාම හේතුවෙන් ගැටළු රැසක් නිර්මාණය වී ඇති බවයි.

මේ හේතුවෙන් රට පුරා පාසල් බහුතරයක් වැසි යාමේ තත්වයක් උදා වී ඇති බවද ජෝසප් ස්ටාර්ලින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කරයි.

ලංකා විදුහල්පති සංගමයද මහින්දෝදය පාසල් වැඩසටහන විවේචනය කරයි.

ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කරන්නේ මහින්දෝදය වැඩසටහන දේශපාලනීකරණය වීම තුල මේ අසාර්ථකත්වය ඇති වී ඇති බවයි .

මහින්දෝදය පාසල් වැඩසටහනට විරෝධය පල කරමින් හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී විරෝධතාවක් ද පැවැත්විණි.

ආරච්චිකට්ටුව හැලඹවටවන රජයේ විද්‍යාලයට තම දරුවන් ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් දරුවන් හතළිස් එක් දෙනෙකු රැගෙන විද්‍යාලයට පැමිණි දෙමාපියන් ගේ ඉල්ලීම විදුහල්පතිවරයා ප්‍රතික්ෂේප කිරීමත් සමගයි මේ විරෝධතාව ආරම්භ වුණේ.

මෙහිදී විරෝධතා කරුවන් කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගය පැය හතරකට වැඩි කාලයක් අවහිර කිරීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ද ඇනහිටිණි.

හලාවත පොලිසිය විරෝධතා කරුවන් විසුරුවා හරිම සඳහා පොලිස් කැරලි මර්දන නිලධාරීන් කැඳවා සිටියත් ඔවුහු සිය බලය බලය පාවිච්චි නොකළෝය.