'මාව මහණ කළේ බීබීසී එකෙන්’

Image caption 'මම ඇත්තටම කවදාවත් දැකල නෑ වීඩියෝ කරන විදිය, චිත්‍රපටි හදන විදිය. සුදු අය දැක්කත් ඉතින් ඒ කාලේ හරි විශේෂ දෙයක්. ඉතින් ඒ අය දිහා මම කුතුහලෙන් බලාගෙන හිටිය'

"මහත්තයෝ මාව මහණ කළේ බීබීසී එකෙන් ..."

හදිසියේම දිනෙක බීබීසී සංදේශය කාර්යාලයට ලැබුණු දුරකතන ඇමතුමකින් මම විස්මය පත්වූයෙමි.

ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානයක සිට දුරකතනයෙන් අප ඇමතුවේ බෞද්ධ හිමිනමකි.

"මහත්තයෝ මාව මහණ කළේ බීබීසී එකෙන් ...," මා සමවැදුණු සමාධිය බිඳිමින් යළිත් එහිමියන්ගේ හඬ.

"බීබීසී ය කොහොමද කවුරුවත් මහණ කරන්නේ?," මසිත එක්වරම නැගුණු පැනයයි, ඒ.

ඉන් දින කිහිපයකට පසුව බීබීසී මැදිරියට ගොඩ වූ මානම්පිට පඤඤාරතන හිමියන් සිය අත්දැකීම අප සමඟ විස්තර කළේ මෙලෙසින්.

Image copyright AFP
Image caption කුඩා දරුවන් සසුන්ගත කිරීම බොහෝ බෞද්ධයන් අනුමත කරන නමුත්, ඒ සඳහා අනුමැතිය පළ කිරීමට දරුවාට පවා අයිතියක් නැති බව ළමාරක්ෂක ක්‍රියාධරයෝ පවසති

"ඇත්තටම මට හැමදාම මතක් වෙච්ච දෙයක් තමයි මාව මහණ කළේ බීබීසී එකේ අය ඇවිල්ලනේ කියන එක. ඉතින් මට හරි පුදුමයක් තිබුණ මේ එංගලන්තේ ඉඳල බීබීසී එකෙන් ඇවිල්ල මාව එහෙම වැඩසටහනකට සම්බන්ධ කර ගත්ත නේද කියල පුංචි කාලෙ."

මානම්පිට පඤඤාරතන හිමියන් පවසන පරිදි මීට දශක තුනකට පමණ ඉහතදී බීබීසී රූපවාහිනී කණ්ඩායමක් පැමිණ කුල දරුවන් මහණ කිරීම පිළිබඳව වාර්තා වැඩසටහනක් සකස් කරන විට එහිමියන් නව හැවිරිදි දරුවෙක්.

කුල දරුවන් පැවිදි කිරීම සම්බන්ධ වාර්තා වැඩසටහනක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය දැනුම් දුන් විට සර්වෝදය ආයතනයේද අනුග්‍රහයෙන් එය සංවිධානය කර තිබුනේ කැස්බෑවේ ජයසුන්දරාරාම විහාරස්ථානයේ නන්දන පිරිවෙනේදී.

රූපවාහිනී කණ්ඩායමේ ඉල්ලීම ප්‍රකාර දෙසියයකට ආසන්න භික්ෂූන් වහන්සේ පිරිසකගේ සහභාගිත්වයෙන් එදා සුවිසල් උත්සවයක් සංවිධානය කර තිබිණ.

"ඒක එදාට වැඩිය ගොඩක් අද මට දැනෙනවා. එදා මම හිතුවේ නෑ කවදාවත් මට බීබීසී එකට ඇවිල්ල මේක කියන්නවත් පුළුවන් වේවි කියල. ඉතින් මේ දේ මෙතනට ඇවිල්ල කියා ගන්න ලැබීමම, මම හිතනවා මට ලැබුන භාග්‍යයක් කියල."

එදා ඒ උත්සවය සංවිධානය කළ හිමියන් සමඟ තවමත් සමීප සම්බන්ධතා පවත්වන නමුත් එදා ලන්ඩනයේ සිට පැමිණි බීබීසී කණ්ඩායමේ කිසිවකුගේ නම් ඇතුළු විස්තර මානම්පිට පඤ්ඤාරතන හිමියන්ගේ මතකයේ නැහැ.

වාර්තා වැඩසටහනේ නම පවා එහිමියන්ගේ මතකයෙන් දුරස්ව ගිහින්.

Image copyright Konwewe Ariyarathana Thero
Image caption භික්‍ෂූන් වහන්සේ කලාව ඇතුළු වෙනත් ක්ෂේත්‍රවලට යොමුවීම පිළිබඳව සමාජයේ සංවාදයක් පවතී

එහිමියන් සමඟ එදා සසුන්ගත වූ අනෙක් සාමනේරු හිමිවරු දෙනම දැන් සසුනේ නැහැ; එක හිමිනමක් අවාසනාවන්ත ලෙසින් මෙලොව හැරගොස් ඇති අතර අනෙක් හිමියන් සසුන හැර ගිහින්.

"මට පුංචි කාලේ ඉඳල හැඟීමක් තිබුනා, මම අහල තියෙන විදියට බීබීසී යේ යමක් කියනවා නම් ඒක ඇත්තයි කියන එක. ඒ විශ්වාසයෙනුයි හැමෝම අහන්නේ."

එහෙත් බීබීසී වාර්තාකරණය පිළිබඳව ගැඹුරු විග්‍රහයක යෙදීමට තරම් දැනුවත් නොමැති බවත් එහිමියෝ මා සමඟ පැවසූහ.

සිය ළමා විය, සසුන්ගතවීමට ගත් තීරණය, කුඩා දරුවන් පැවිදි කිරීම සම්බන්ධයෙන් පවතින විවේචන, භික්‍ෂූන් වහන්සේ කලාව ඇතුළු වෙනත් ක්ෂේත්‍රවලට යොමුවීම ඇතුළු බොහෝ දේ පිළිබඳව දොඩමළුවෙමින් එහිමියෝ මුළු සවස් යාමයම අප සමඟ ගතකළේ එම වාර්තා වැඩසටහන සොයාදීමට උත්සාහ කරන මෙන් දිගින් දිගටම ඉල්ලා සිටිමින්.

දෙවසරක් බ්‍රිතාන්‍යයේ වද වාසය කිරීමෙන් අනතුරුව, මානම්පිට පඤ්ඤාරතන හිමියෝ පසුගියදා යළි ශ්‍රී ලංකාව බලා පිටත්ව ගියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර