ඇඹිලිපිටි සාදය; මරණ පරීක්ෂණය දෙවන දිනටත්

අජිත්ලාල් ශාන්තඋදය

බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු

පසුගිය හතර වෙනිදා ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක දී පොලිසිය සමඟ ඇතිවූ ගැටුමකින් අනතුරුව තට්ටු ගොඩනැගිල්ලකින් පැනීමෙන් හෝ තල්ලු කරනු ලැබීමෙන් මරණයට පත් සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් විසිනව හැවිරිදි එක් දරු පියාගේ මරණ පරීක්ෂණය අද (14) දෙවන දිනයටත් පැවැත්වුණි.

ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු ඉදිරියේයි අද මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය පැවැත්වුණේ .

ගැටුම සිදු වූ දින පොලිස් ජංගම රථයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද, සිද්ධිය ඇසින් දුටු බව කියන පොලිසියට පක්ෂව සාක්කි දුන් දෙදෙනෙක් ද, සාදයේ සංගීත කණ්ඩායමේ පුද්ගලයෙක් ද ඇතුළු පස් දෙනෙකුගෙන් අද සාක්‍ෂි විමසනු ලැබුණි.

සාක්ෂි ගැන සැකයක්

මරණයට පත් සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත පුංචිහේවා පොලිසිය විසින් ඉදිරිපත් කර තිබුණ සාක්ෂිකරුවන් ගේ ප්‍රකාශ ගැන සැක මතුව ඇති බවයි කියා සිටියේ.

පොලිසියේ මෙහෙයවීම අනුව අදහස් දැක්වූ සාක්කිකරු පැවසුවේ මියගිය පුද්ගලයා ඉහළ මහලකින් බිමට පනිනු තමන් දුටු බවයි.

බිමට වැටුණු එම තැනැත්තා වාහනයට නංවනු ලැබුවේ ද තමන් බව ඔහු සිය සාක්කියේ දී සඳහන් කළේය.

එහෙත් නීතිඥ විජිත පුංචිහේවා පවසන්නේ එම පුද්ගලයා ‘පොලිසියේ මෙහෙයවීම අනුව එවැනි සාක්ෂියක් දෙන’ බවයි.

ඥාතීන්ගේ විරෝධය

මේ අතර මියගිය පුද්ගලයා ගේ ඥාතීන් ඇඹිලිපිටිය අධිකරණ භූමියෙන් පිටත විරෝධය පාමින් ‘මරණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉරිපත් කරන’ බවට පොලිසියට දෝෂාරෝපණය කළහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නිතීඥ රුවන් ගුණසේකර අදත් සාක්කි මෙහෙයවන ලද අතර ඉහත කී විරෝධය ගැන අධිකරණ භූමියෙන් පිටව යද්දී ඔහු මාධ්‍යවේදීන්ට යමක් පැවසීමට සුදානම් වූ නමුත් එම ස්ථානයට මියගිය තැනැත්තා ගේ ඥාතීන් එනු දැක තම වාහනයට නැග පිටත්ව ගියේය.