වකුගඩු රෝගයෙන් පීඩා විඳින නිකවතලන්ද

Image caption ප්‍රතිකාර ලබාගැනීමට පෝලිමේ සිටින වකුගඩු රෝගීන් පිරිසක් (සංරක්ෂිත ඡායාරූපයක්)

අම්පාර, පොළොන්නරැව මායිමේ පොළොන්නරැව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නිකවතලන්ද ජල යෝජනා ක්‍රමය අතරමග නතර කිරීම හේතුවෙන් පානීය ජල හිඟයකට සහ බරපතල සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී සිටින බව ගම්වාසීහු පවසති.

ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීම පිණිස එක් කෝටි හතලිස් ලක්ෂයක මුදලක් ලැබී තිබෙන නමුත් එම මුදල් නිසි ලෙස යොදාගත් බවක් දක්නට නොලැබෙන බවට මහවැලි සී කලාපයේ අධිකරණ සංඝනායක නිකවතලන්ද ශ්‍රී පුර්වාරාමාධිපති මොරවක නාරද හිමියෝ චෝදනා කරති.

පවුල් 500 ක් පමණ වෙසෙන නිකවතලන්දේ වකුගඩු රෝගීන් 65 දෙනෙකු පමණ සිටින අතර, ඔවුන්ගෙන් 15 දෙනකු මේ වනවිට මියගොස් ඇති බවද නාරද හිමියෝ පැවසූහ.

ගැමිදිරිය

නිකවතලන්ද පාසැලේද වකුගඩු රෝගී ළමුන් 11 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පැවසූ විදුහල්පති චන්දූසිරි රණසිංහ පාසලටද ජලය නොමැතිවීම බරපතල ගැටලුවක් බව පෙන්වා දුන්නේය.

ජල යෝජනා ක්‍රමය අත්හිටුවීම හේතුවෙන් ගම්මානයේ ස්ථාන හතරකින් නල ජලය ලබා ගැනීමට ගම්වැසියන්ට සිදු වී තිබෙන බව පවසන නිකවතලන්ද කොට්ඨාශ ගොවි සංගමයේ ලේකම්වරයා, පානීය ජලය ලබාගැනීම පිණිස ඇතැමුන්ට සැතපුම් 4ක් තරම් දුරක් ගෙවා යාමට සිදු වී ඇති බවත් පැවසීය.

මේ පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමේදී දිඹුලාගල ප්‍රාදේශීය මහ ලේකම් එස් ජෙගදීසම් සඳහන් කළේ, අදාළ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ ප්‍රාදේශීය බලධාරීන් නොව ගැමිදිරිය මගින් බවයි.

කෙසේ නමුත් මොරවක නාරද හිමියන් පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම ජල යෝජනා ක්‍රමය වහාම යළි ආරම්භ කරන මෙන් නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ප්‍රාදේශීය ලේකම්වරිය පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර