ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හෝ ඒකීයභාවයට තර්ජන නැහැ - අගමැති

Image copyright Getty
Image caption 'මම බෞද්ධයෙක්, මම සිංහලයෙක් ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක්. බේදී ගිය රට ඒකරාශී කිරීම මගේ එකම අරමුණයි. අප ඉදිරියට යා යුතුයි.'

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා රටේ ඒකීයභාවයට හෝ බුද්ධාගමට තර්ජන මතු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

''අප සියලු දෙනා බෞද්ධයෝ. මම බෞද්ධයෙක්, මම සිංහලයෙක් ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක්. බේදී ගිය රට ඒකරාශී කිරීම මගේ එකම අරමුණයි. අප ඉදිරියට යා යුතුයි. පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා රට පාවා දෙන්න එපා යැයි මා කුඩා දේශපාලන කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා''

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ඇති කිරීමට පමණක් මේ මොහොතේ ආණ්ඩුව යෝජනා කොට ඇති බව අගමැතිවරයා පැවසුවේ අග්‍රාමාත්‍ය කාර්යාලේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින්.

''1971 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කැදෙව්වා. පළමුවෙන්ම ඇය පාර්ලිමේන්තුවේ රාජාසන කතාවේදී ඊට අනුමැතිය ලබාගත්තා. ඒ සඳහා සියලූම දෙනා සහභාගි වුණා. එකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපේ අදහස් පිළිගත්තේ නැති වුවත් අපත් ඊට සහභාගී වුණා. සියලූම දෙනාට අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබුණා.''

පැදුරු පාටි

මහජන නියෝජිතයන්ට පමණක් නොව නව ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාවලියේදී මහජන අදහස් වෙතද වැඩි ඉඩක් ලබා දෙන බවත් අගමැතිවරයා එහිදී පැවසීය.

''ව්‍යවස්ථා සම්පාදනය සඳහා වන මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව සඳහා විසුම්පාය භාරදී තිබෙනවා. පැදුරු පාටි දැමූ විසුම්පාය දැන් ව්‍යවස්ථා සම්පාදන කටයුතු සඳහා යොදා ගෙන තිබෙනවා. ඔබත් එහි ගොස් අදහස් ලබා දෙන්න. මුළු රටම එකතු කර ගෙන සියලුම පක්‍ෂවල අදහස් ලබා ගෙන අප මෙම කාර්ය සිදු කරමු. කාමරයක් ඇතුළට වී ජුන්ටාවකින් ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීමට මම නම් අදහස් කරන්නේ නැහැ.''

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තරුණ ප්‍රජාවගේ අදහස් ලබා ගනු වස් සමාජ මාධ්‍ය ජාල උපයෝගී කොට ගන්න බවත් අගමැතිවරයා සඳහන් කළේය.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අවමංගල්‍ය උත්සවයේදී ජනපතිවරයා පොරොන්දු වූ පරිදි රටේ සියලු පාර්ශවයන්ගේ කැමැත්ත මත පමණක් නව ව්‍යවස්ථාව සම්පාදනය කරන බවයි අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර